04

E   |     |  

 දිනය: 2019-03-06   පිළිතුර ලබා දී ඇත 

0011/2019: LED බල්බ මිලියන 10ක් බෙදා දීමේ ව්‍යාපෘතිය: විස්තර

11/’18

ගරු හේෂා විතානගේ මහතා,— විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       LED බල්බ මිලියන 10ක් විදුලි පාරිභෝගිකයන් අතර බෙදා දීමට කටයුතු කරන ලද්දේද;

             (ii)       එසේ නම්, එම ව්‍යාපෘතිය සඳහා වැයවූ මුදල කොපමණද;

            (iii)       එකී ව්‍යාපෘතිය සඳහා වැය කරන ලද මුදල විදුලි ‍පාරිභෝගිකයන්ගෙන් ආපසු අයකර ගැනීමට කටයුතු කිරීම අසාධාරණ බව පිළිගන්නේද;

(iv) ඉහත ව්‍යාපෘතිය මෙහෙයවන ලද ආයතනය කවරේද;

(v) එම ව්‍යාපෘතිය අසාර්ථක වූ බව පිළිගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-03-06

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i) ඉල්ලුම් පාර්ශවීය බලශක්ති කළමනාකරණය පිළිබඳ ජාතික වැඩසටහන යටතේ මෙරට විදුලි පාරිභෝගිකයන් අතර කාර්යක්ෂම LED විදුලි පහන් භාවිතය ප්‍රචලිත කිරීම සඳහා සහ අකාර්යක්ෂම සූත්‍රිකා විදුලි පහන් භාවිතය අවම කිරීම සඳහා සහන මිලට LED විදුලි පහන් බෙදා දීමේ වැඩ පිළි‍වෙළක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇත. (ඇමුණුම* 01)

විදුලි පාරිභෝගිකයන් අතර මෙතෙක් LED විදුලි පහන් බෙදා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කර ඇති අතර මේ සඳහා වන නියමු ව්‍යාපෘති 03ක් කොළොන්නාව, කෑගල්ල හා හොරණ ප්‍රදේශයන්හි සාර්ථකව ක්‍රියාත්මක කර ඇත. ඒ යටතේ LED විදුලි පහන් ලබා දීම සිදු කර ඇත.

(ii) මෙම වැඩසටහන යටතේ පළමු LED විදුලි පහන් ප්‍රමාණය ලෙස ලක්ෂ 10ක් සැපයිය යුතු අතර, සියලු බදු ඇතුළත් මිල රුපියල් 169,602,797.98කි. සැපයුම්කරු මෙවැනි තොග 10ක් මෙම මිලටම සැපයීමට එකඟ වී ඇත. ඒ අනුව වැඩසටහන සඳහා වන සම්පූර්ණ ආයෝජනය රුපියල් 1,696,027,979.80ක් වේ. (ඇමුණුම* 02)

(iii) කාර්යක්ෂම LED විදුලි පහන් භාවිතය තුළින් විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි පරිභෝජනය අඩු වන අතර, එම තත්ත්වය තුළ විදුලි පාරිභෝගිකයන්ගේ විදුලිය සඳහා වන වියදම අඩු වේ. එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයට මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් 1,696,027,979.80ක වියදමක් දැරීමට සිදු වේ. ඉහත (අ) (i) හි දක්වා ඇති සහන වැඩ පිළිවෙළ යටතේ මෙම විදුලි පහන් සඳහා යන වියදම පොලී රහිත මාසික වාරික 24කින් පාරිභෝගිකයන් වෙතින් අය කර ගැනීම අසාධාරණ නොවේ.

(iv) ඉල්ලුම් පාර්ශවීය බලශක්ති කළමනාකරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධන බලකායේ මෙහෙයවීම මත ඉල්ලුම් පාර්ශවීය බලශක්ති කළමනාකරණ මෙහෙයුම් කමිටුව, විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය, ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි (පුද්.) සමාගම හා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය.

(v) වැඩසටහන තවමත් මූලික අදියරේ ඇති බැවින් එම වැඩසටහනේ සාර්ථක හෝ අසාර්ථක බව තක්සේරු කිරීමට කාලය ප්‍රමාණවත් නැත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2019-07-11

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රවී කරුණානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks