01

E   |     |  

 දිනය: 2018-09-19   පිළිතුර ලබා දී ඇත 

1115/2018: තේ අපනයනය : ගුණාත්මකභාවය පිළිබඳ වගකීම

1115/’18

ගරු දයාසිරි ජයසේකර මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකාව වාර්ෂිකව අපනයන කරනු ලබන තේ මෙට්‍රික් ටොන් ප්‍රමාණය කොපමණද;

              (ii)       ශ්‍රී ලංකාවෙන් තේ මිලදී ගන්නා රටවල් කවරේද;

             (iii)       තේ අපනයනය කිරීමේදී තේ තොග ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් විධිමත් පරීක්ෂණයන්ට යටත් කර නිසි අධීක්ෂණයක් යටතේ අපනයනය කරනු ලබන්නේද;

(iv) නොඑසේ නම්, අපනයනය කරනු ලබන තේවල ගුණාත්මකභාවය පිළිබඳව වගකීම දරනු ලබන්නේ කවුරුන් විසින්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

‍(ආ) (i) තේ දළු වියලීමේදී හෝ තේ බවට පත් කිරීමේ ක්‍රියාවලියේදී කර්මාන්ත ශාලා තුළ දී සීනි හෝ වෙනත් රසකාරක, වර්ණ කාරක එක් කිරීම් පසුගිය            කාලසීමාවේදී සිදු කර තිබේද;

(ii) ඒ පිළිබඳව පරීක්ෂණ මඟින් තහවුරු කරගෙන තිබේද;

(iii) තේවල සීනි සාන්ද්‍රණය මැනීමේ මිනුම් ඒකකයක් පවතීද;

(iv) තේවල ගුණාත්මකභාවයට හානිකර අන්දමින් කටයුතු කරන්නන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-09-19

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2017 වසරේ තේ මෙට්‍රික්ටොන් මිලියන 288.9ක් (දෙසිය අසූඅටයි දශම නවය) අපනයනය කර                   ඇත.

              (ii)     

             (iii)      ඔව්, සියලු  තේ අපනයන තොග අන්තර්ජාතික ප්‍රමිතිකරණය වන ISO 3720 ප්‍රමිතියට අනුකූල බව තහවුරු කිරීම සඳහා පහත ක්‍රියාමාර්ග ගනු ලැබේ.

                  §       සතිපතා කොළඹ තේ වෙන්දේසියට ඉදිරිපත් කරන තේ තොග (Lots) 12,000 (දොළොස්දහස)න් තේ සාම්පල් 4,000ක් පමණ තේ රස බලන්නන් වෙත යොමු කිරීමෙන් අනතුරුව ඌන ප්‍රමිති තේ  වෙන්දේසියෙන් ඉවත් කෙරේ. මීට අමතරව එම ඌන ප්‍රමිති තේ රසායනාගාර පරීක්ෂාව සඳහා යොමු කර තත්ත්වය තහවුරු කර ගැනේ.

§ අපනයන අවස්ථාවේදී නැවත වතාවක් අපනයනකරුවන්ගේ තේ ගබඩාවලින් ලබා ගන්නා සාම්පල, තේ රස බලන්නන් වෙත ඉදිරිපත් කර තේ ගුණාත්මකභාවය පිළිබඳ තහවුරුවක් ලබා ගැනේ.

§ ශ්‍රී ලංකා රේගු පරිශ්‍රයේ පවත්වාගෙන යන ශ්‍රී ලංකා තේ මණ්ඩල කාර්යාලය මඟින් වරාය වෙත ගෙන යන තේ බහාලුම්වලින් සම්මත ක්‍රම අනුව සාම්පල් පරීක්ෂා කරමින් ගුණාත්මකභාවය පිළිබඳ තහවුරු කෙරේ.

§ අපනයනකරුවන්ගේ ගබඩාවන් යහපත් නිෂ්පාදන ක්‍රමවේදයන් - GMP - අනුගමනය කරන්නේ ද යන්න පරීක්ෂාවකට ලක් කෙරේ.

(iv)   අපනයනය කරනු ලබන තේවල ගුණාත්මකභාවය පිළිබඳව අපනයනකරුවන් විසින් වගකීම දරන අතර එය අධීක්ෂණය හා නියාමනය ශ්‍රී ලංකා තේ මණ්ඩලය මඟින් සිදු කරනු ලබයි.

(ආ) (i)  කම්හල් කිහිපයක මෙම තත්ත්වය හඳුනාගෙන ඇත.

      (ii)  ෆෙරස් සල්ෆේට් වැනි තේවලට කෘත්‍රිමව එකතු කරන රසායන ද්‍රව්‍ය හඳුනාගෙන ඇත. සීනි වැනි ද්‍රව්‍ය ද කෘත්‍රිමව තේවලට එකතු කරන අවස්ථා හඳුනාගෙන ඇත.

      (iii)   තේ පර්යේෂණ ආයතනය මේ සඳහා මිනුම් ඒකකය සකසා ඇති අතර, එහි නිර්දේශ ශ්‍රී ලංකා තේ මණ්ඩලය වෙත ලැබීමට නියමිතය.

     (iv)   § තේ කම්හලේ ලියා පදිංචිය තාවකාලිකව අත්හිටුවීම.

  § වරද සමථයකට පත් කිරීමේ ගාස්තු අය කර ගැනීම.

  § කර්මාන්තශාලා ලියා පදිංචිය අවලංගු කිරීම හා තේ කොමසාරිස් වෙත පැවරී ඇති බලතල අනුව අධිකරණ ක්‍රියා මාර්ගයක් සඳහා ඉදිරිපත් කිරීම.

(ඇ)   අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2018-09-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඒ. ඩී. ප්‍රේමදාස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks