01

E   |     |  

 දිනය: 2025-09-25   පිළිතුර ලබා දී ඇත 

1159/2025: ඉස්සන් ප්‍රතිඅපනයනය: විස්තර

1159/2025

ගරු අජිත් ගිහාන් මහතා,— ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      (i)       ශ්‍රී ලංකාවේ ගොවිපළ ඉස්සන් වගාව සිදු කරන බවත්;

            (ii)      එහෙත් වෙනත් රටවලින් ශ්‍රී ලංකාවට ඉස්සන් ආනයනය කර ප්‍රතිඅපනයනය         කරන බවත්;

            (iii)     ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඉස්සන් වගා කර්මාන්තයට සහ එම කර්මාන්තයේ නිරතවන පුද්ගලයන්ට අහිතකර බලපෑමක් සිදු වන බවත්;

  එතුමා පිළිගන්නෙහිද?

(ආ) එසේ නම්, ඉස්සන් ප්‍රතිඅපනයනය කිරීම වෙනුවට ශ්‍රී ලංකාවේ ඉස්සන් වගාව දිරිගැන්වීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-09-25

අසන ලද්දේ

ගරු අජිත් ගිහාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර, ජලජ සහ සාගර සම්පත්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      පිළිගනී.

              (ii)      පිළිගනී.

             (iii)      නොපිළිගනී.

                        ඒ අනුව මෙම ප්‍රතිඅපනයන ක්‍රියාදාමය ඉතා සුපරීක්ෂාකාරී ලෙස සිදු කිරීමට අවසර ලබා දී ඇති අතර, ඒ සඳහා SOP - Standard Operating Procedure - ක්‍රමවේදය හඳුන්වා දී ඇත. ප්‍රතිඅපනයනය සිදු කරන ලද ඉස්සන් ප්‍රමාණය පහත පරිදි වේ.

2024 වර්ෂය - මෙට්‍රික් ‍ටොන් 1,187යි.

(ආ) ඔව්.

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය මඟින් ඉස්සන් වගාව දිරි ගැන්වීම සඳහා වැඩ පිළිවෙළ රාශියක් ක්‍රියාත්මක කරමින් පවතී. එම වැඩ පිළිවෙළ පහත පරිදි වේ.

ඉස්සන් වගාවේ ප්‍රධාන යෙදවුමක් වන ගුණාත්මක ඉස්සන් පැටවුන් (පසු කීටයන්) ගොවි පොළවලට ලබා දීම සඳහා පහත ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇත.

• ඉස්සන් විශේෂ දෙකක් මේ වන විට වාණිජ වශයෙන් වගා කරන අතර, මෙයින් L.vannamei ඉස්සන් වගා ගොවිපොළ වෙත EHP නමැති පරපෝෂී රෝගයක් ආසාදනය වී තිබීම නිසා ඉස්සන්ගේ වර්ධන වේගය අඩු වීම හේතුවෙන් ඉස්සන් නිෂ්පාදනයේ යම් අඩු වීමක් පෙන්නුම් කරයි. මෙයට පිළියමක් ලෙස EHP රෝග පාලනයද ඇතුළත්ව අභිජනනාගාර සහ ගොවිපොළ සඳහා යහපත් ජලජීවී වගා කළමනාකරණ පිළිවෙත් හඳුන්වා දී ක්‍රියාත්මක කරමින් පවතී.

• EHP රෝගය හේතුවෙන් වගාකරුවන් SPF P. monodon ඉස්සන් වගාව සඳහා වැඩි නැඹුරුතාවක් දක්වන බැවින්, එම වගා විශේෂයේ පැටවුන්ගේ ඌනතාවක් පවතී. මෙයට පිළියමක් ලෙස සංවර්ධනය කරන ලද අභිජනනාගාර 5ක් සඳහා SPF P. monodon අභිජනනයට අවසර ලබා දී ඇති අතර, තවත් එක් අභිජනනාගාරයක් අලුතින් ඉදිකිරීම සඳහා අවසර ලබා දී ඇත.

මෙම අභිජනනාගාර සියල්ල ක්‍රියාත්මක තත්ත්වයට පැමිණීමෙන් පසු නිෂ්පාදන ඉලක්කය සඳහා අවශ්‍ය ගුණාත්මක පැටවුන් ගොවිපළ වෙත ලබා දීමට හැකිවේ.

• ඉන්දියාව හා ඉක්වදෝරය තම නිෂ්පාදන අඩු නිෂ්පාදන පිරිවැයකින් නිපදවා අඩු මිලකට අන්තර්ජාතික වෙළඳපොළ වෙත නිකුත් කිරීම හේතුවෙන් නිෂ්පාදන අන්තර්ජාතික මිල සමඟ සැසඳීමේ දී පිරිවැයට සාපේක්ෂව ඉස්සන් කර්මාන්තය ලාභදායී නොවන තත්ත්වයකට පත් වී ඇත. මෙයට පිළියමක් ලෙස විශේෂ වෙළඳපොළක් වෙත යොමු කිරීමේ අරමුණින් “Sri Lankan Jumbo Shrimp” නාමය යටතේ වැඩි විශාලත්වයෙන් යුත් ඉස්සන් වගා කිරීමට වගාකරුවන් දිරිගැන්වීමට කටයුතු කරමින් පවතී.

• ශ්‍රී ලංකාවේ ඉස්සන් වගාව ප්‍රධාන වශයෙන් වෙරළබඩ දිස්ත්‍රික්ක පහක එනම්, පුත්තලම, මඩකලපුව, මන්නාරම, යාපනය හා හම්බන්තොට ක්‍රියාත්මක අතර, මෙයින් සියයට 70කට ආසන්න ඉස්සන් ප්‍රමාණයක් ලබා දෙන පුත්තලම දිස්ත්‍රික්කය ඉස්සන් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා   පුත්තලම, මුන්දලම හා හලාවත කලපු යාකරන ඕලන්ද ඇල හා හලාවත මුන්දලම කළපුවල වඩදිය බාදිය ක්‍රියාත්මක වන ලෙස රොන් මඩ ඉවත් කිරීමට අවශ්‍යව ඇත.

• මෙම රොන් මඩ ඉවත් කිරීම තුළින් ඉස්සන් වගාව හා ධීවර කර්මාන්තය මඟින් ලබාගත හැකි නිෂ්පාදනය වැඩිවීම සිදු වෙන අතර, මේ සඳහා ප්‍රතිපාදන 2026 වර්ෂය සඳහා ඉල්ලුම් කර ඇත.

• විශේෂයෙන් උතුරු හා නැගෙනහිර ඉස්සන් වගාව සඳහා හඳුනා ගන්නා ලද ඉඩම් පරිසර හිතකාමී ගොවිපළ ආකාරයට ඉස්සන් වගාව සංවර්ධනය කිරීම සඳහා ලබා ගැනීමට කටයුතු කිරීම මගින් අපනයනය සඳහා ප්‍රමාණවත් ඉස්සන් අස්වැන්නක් සැකසුම් මධ්‍යස්ථාන වෙත ලබාදීමට අපේක්ෂා කෙරේ.

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-09-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks