පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-01-07
අසන ලද්දේ
ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2019 සිට 2023.12.23 දක්වා update එක අපි අරගෙන තිබෙන්නේ. සම්පූර්ණ ප්‍රමාණය ගත්තොත්, පවුල් 3,154ක සංඛ්‍යාවක් නාය යෑමේ අවදානම් සහිත දිස්ත්‍රික්ක 14කින් හඳුනාගෙන තිබෙනවා. නාය යෑම් හේතුවෙන් බලපෑමට ලක් වූ වැඩිම පවුල් ප්‍රමාණයක් සහිත දිස්ත්‍රික්ක ගත්තොත්, බදුල්ල දිස්ත්‍රික්කය පළමු තැනටත්, නුවරඑළිය දෙවැනි තැනටත්, කෑගල්ල තුන්වන තැනටත් වාර්තා වෙලා තිබෙනවා. මා සඳහන් කළ ඒ 3,154ක් වූ අවතැන් වූ පවුල් සංඛ්‍යාව පිළිබඳ විස්තර බදුල්ල, කොළඹ, රත්නපුර ආදී වශයෙන් දිස්ත්‍රික්ක 14කට අදාළව තිබෙනවා. ඒ සංඛ්‍යාවන් ඇමුණුම i මඟින් දක්වා තිබෙනවා. එය ගරු රවීන්ද්‍ර බණ්ඩාර මන්ත්‍රීතුමාගේ අවධානය සඳහා යොමු කරනවා.
(ii) සම්පූර්ණ පවුල් සංඛ්‍යාව 3,154ක් කියා මුලින් මා සඳහන් කළා. එයින් පවුල් 264ක් පමණක් තාවකාලික නිවාසවල පදිංචිව සිටිනවා, ගරු කථානායකතුමනි. ඒ පවුල් 264න් පවුල් 128ක් පමණක් ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ නිවාසවල පදිංචිව සිටිනවා. එහි සවිස්තරාත්මක වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා. ඒ කියන්නේ, එම දිස්ත්‍රික්ක 14 ඇතුළේ තාවකාලික නිවාසවල පදිංචි පවුල් සංඛ්‍යාව පවුල් 264යි. ඒ වාගේම හිතවතුන්ගේ නිවාසවල පදිංචි පවුල් සංඛ්‍යාව 128යි. එම විස්තරත් ඇමුණුම i මඟින් දක්වා තිබෙනවා. ඇමුණුම i සභාගත* කරනවා.
ගරු කථානායකතුමනි, එතුමා ප්‍රශ්නයේ (iii) වන කොටසින් අසා තිබෙන කාරණය ඉතාම සංකීර්ණයි. විනාඩි දෙක තුනක් අරගෙන එයට පොඩි හැඳින්වීමක් කරමින් මම ඒ පිළිබඳ තත්ත්වය පැහැදිලි කරන්නම්.
ආපදා කළමනාකරණයේදී අවදානම් වශයෙන් ගත්තාම, ආපදා හඳුනා ගැනීම පළමු පියවර හැටියට තිබෙනවා. ඒ අනුව නාය යෑම් අවදානම් පිළිබඳව සැලැස්මක් සකස් කොට එය සිතියම්ගත කර ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් සකසා තිබෙනවා. ඒ මත පදනම්ව දිස්ත්‍රික්කයන්හි සියලු ග්‍රාම නිලධාරි කොට්ඨාස අවදානම අනුව අධික, මධ්‍යම සහ අවම වශයෙන් කාණ්ඩ -categories- තුනකට අපි -ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන්- වෙන් කරගෙන තිබෙනවා. ඒ වාගේම එම ආපදා වැළැක්වීම, ආපදා අවදානම අවම කිරීම - mitigation - ඒ වාගේම respond කිරීම. එහෙම නැත්නම් ප්‍රතිචාර දැක්වීම, පූර්ව සූදානම් කිරීම සහ කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ යන්ත්‍රණය ස්ථාපිත කිරීම සඳහා Disaster Management Centre එකත් එක්කම සියලුම පාර්ශ්වකාර ආයතන එකම ජාලයකට අපි ඇතුළත් කරලා, network කරලා, coordinate කරලා, රාජ්‍ය නොවන සංවිධාන සහ ප්‍රජා මූල සංවිධාන සමඟ ඒකාබද්ධව ක්‍රියා කරනවා.
ඉහත පවුල්වලට මේ වන තෙක් විකල්ප නිවාස/ ඉඩම් නොලැබීමට හේතුව කවරේද කියන එකට උත්තරය ඉතා සංකීර්ණයි කියලා මම පෙන්වා දුන්නේ, නායයෑම් හේතුවෙන් අවතැන් වී දැනට තාවකාලික නිවාසවල, ඔවුන්ගේ ඥාතීන්ගේ, හිතවතුන්ගේ නිවාසවල පදිංචිව ජීවත් වන ජනතාවට විකල්ප නිවාස/ ඉඩම් නොලැබීමට ආර්ථික වශයෙන්, නීතිමය වශයෙනුත් ප්‍රශ්න රාශියක් තිබෙන නිසායි. ඊට සමාජයීය හේතු ද බලපා තිබෙනවා. ඒකෙන් පළමුවෙනි හේතුව මේකයි. අධි අවදානම යටතේ හඳුනා ගන්නා ලද ඉඩම්වලින් පදිංචිකරුවන් ඉවත් කිරීම ඔවුන්ගේ කැමැත්ත මත තමයි සිද්ධ වෙන්නේ. අධි අවදානම් වුණත් ජනතාව එයින් ඉවත් වෙන්න අකැමැතියි. නමුත් පුද්ගලයන් එම ස්ථානයෙන් අනිවාර්යයෙන්ම ඉවත් කිරීමට මේ වන විට නීතිමය ප්‍රතිපාදන නැහැ. ඒකෙන් අපේ ආරක්ෂක හමුදා, පොලීසිය සහ අනෙකුත් රාජ්‍ය ආයතන මහත් අපහසුතාවට පත් වෙනවා, ගරු කථානායකතුමනි.
ඒ වාගේම නාය යෑමේ අධි අවදානම යටතේ හඳුනා ගන්නා ලද ඉඩම්වල පවතින කෘෂි කාර්මික වගාවන් මත ආර්ථික කටයුතු පදනම් වීම හේතුවෙන් සහ ඒ ඒ ඉඩම්වල පදිංචි වෙලා සිටින අයවලුන්ගේ අංග සම්පූර්ණ නිවාසවල වටිනාකම ඉහළ අගයක් සහිත වීම හා නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ ලබාදෙන ඉඩම පර්චස් 10ක් වශයෙන් ඉතා කුඩා වීම හේතුවෙන් බොහෝ දෙනෙක් ඒ ස්ථානවලින් ඉවත් වීමට මැළිකමක් දක්වනවා. ඒ වාගේම මෙම ප්‍රදේශවල පදිංචිකරුවන් ඒ ඒ ප්‍රදේශවල තිබෙන උපසංස්කෘතීන්වලට සම්බන්ධ වෙලා තිබෙන නිසා ඒ ස්ථානවලින් ඉවත් වීමට දැඩි අකමැත්තක් දක්වනවා. ඒකත් ඉතාම සංකීර්ණ ප්‍රශ්නයක්.
නැවත පදිංචි කිරීමේ වැඩසටහන සඳහා තෝරාගෙන දීර්ඝ කාලයක් ගත වූ ප්‍රතිලාභීන් වුවද නැවත පදිංචි කිරීමේ විකල්ප ක්‍රම හතරක් අපි සොයාගෙන තිබෙනවා. ඒ ගැන අපි ජාතික මට්ටමින් සාකච්ඡා කරලාත් තිබෙනවා. නිවසක් සහිත ඉඩමක් මිලදී ගැනීම, තමාට හිමි වෙනත් ඉඩමක නිවසක් ඉදිකිරීම, ඉඩමක් මිලදී ගෙන නිවසක් ඉදිකිරීම, රජයෙන් ලබා දෙන ඉඩමක නිවසක් ඉදිකිරීම යන විකල්ප අතරින් එකක් තෝරා ගැනීමට අපොහොසත් වෙලා තිබෙනවා. මේ නිසා ප්‍රතිලාභීන් විසින් රජයේ හෝ පෞද්ගලික ඉඩම් තෝරා ගැනීමේදී අනවශ්‍ය ප්‍රමාදයක් සිදු වෙනවා, ගරු කථානායකතුමනි.
2020 වර්ෂයේ ඇතිවූ කොවිඩ් වසංගත තත්ත්වය හා 2021 වර්ෂයේ රට තුළ ඇතිවූ ආර්ථික අවපාතය හේතුවෙන් ගොඩනැඟිලි ද්‍රව්‍යවල මිල ඉහළ යාමෙන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ ලබා දෙන මුදලින් නිවාස ඉදිකිරීමට නොහැකි වෙලා තිබෙනවා. ඒ වාගේම ඉඩමක් මිලදී ගැනීමට ලබා දෙන්නේ රුපියල් ලක්ෂ 04ක මුදලක්. නිවසක් සහිත ඉඩමක් මිලදී ගැනීම සඳහා ලබා දෙන්නේ රුපියල් මිලියන 1.6ක -රුපියල් ලක්ෂ 16ක- මුදලක්. රජයේ ඉඩමක් ලබා දිය හැකි නම් නිවාස ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 12යි ලබා දෙන්නේ.
ගරු කථානායකතුමනි, ඇතැම් දිස්ත්‍රික්කවල ඉඩම්වල මිල අධික වීම හා රජයේ ඉඩම් නොමැති වීම හේතුවෙන් නැවත පදිංචි වීමට සුදුසු ඉඩම් ලබා ගැනීම ඉතාම අසීරු වෙලා තිබෙනවා. ඇතැම් දිස්ත්‍රික්කවල රජයේ ඉඩම් බහුල වුණත්, නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ ගෙවීම් කර එම ඉඩම් මිලදී ගැනීමට නොහැකිවීමත් ඉතාම සංකීර්ණ ප්‍රශ්නයක් වෙලා තිබෙනවා.
නාය යාමේ අධි අවදානමට ලක් වූ රජයේ ඉඩම්වල, අනවසර ඉඩම්වල, දුම්රිය රක්ෂිතවලට අයිති ඉඩම්වල, වතු ඉඩම්වල පදිංචි පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහනට ඇතුළත් කර ගැනීමේදී, ඒ ඉඩම්වල අයිතිය තහවුරු කර ගැනීමට නොහැකි වීමත් විශාල ගැටලුවක් වෙලා තිබෙනවා. ඒක අපි කවුරුවත් දන්න ප්‍රශ්නයක්.
ඒ වාගේම, නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා යොදා ගැනීමට නියමිත වතු ඉඩම් වතු සමාගම් විසින් නිදහස් කිරීමේදී විශාල ප්‍රමාදයකුත් ඇති වෙලා තිබෙනවා. ඒක තමයි ප්‍රශ්නයේ (iii) කොටසට පිළිතුර.
(iv) දැනට ව්‍යසන කළමනාකරණ පනත තිබෙනවා. එය සංශෝධනය කිරීමට අපි කටයුතු කර තිබෙනවා. ඒ කියන්නේ නැවත පදිංචි කිරීමේ වැඩසටහනට ඇතුළත් වීමට අකැමැති හා මම පෙර දැන්වූ පරිදි මේ වනවිටත් අධි අවදානම් නිවෙස්වල රැඳී සිටින පිරිස් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග, ප්‍රතිපාදන, ව්‍යසන කළමනාකරණ පනතට ඇතුළත් කර ඇති අතර, ඒවා නැවත සංශෝධනය කිරීමට අපි දැනට කටයුතු කරනවා. එය ඉදිරියේදී ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
ඒ වාගේම රජයේ ඉඩම්වල යටිතල පහසුකම් කටයුතු සංවර්ධනය සඳහා ප්‍රතිපාදන ලබා දීම මඟින් අලුත් නිවාසවල පදිංචි වීමට අවශ්‍ය පහසුකම් සලසන්නත් කටයුතු කර තිබෙනවා. ඒ යටතේ 2024 වර්ෂයේ ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 79ක ප්‍රතිපාදනත් අපි ගිය අවුරුද්දේදී ලබා දීලා තිබෙනවා.
නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ නිවසක් ඉදිකිරීමට ලබා දෙන මුදල ප්‍රමාණවත් නොවන බැවින්, එම මුදල රුපියල් ලක්ෂ 20 දක්වා වැඩි කිරීමටත්, නිවසේ වර්ග අඩි ප්‍රමාණය 550 දක්වා අඩු කිරීමටත් යෝජනා කරමින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු කරමින් තිබෙනවා. නමුත්, සාමාන්‍යයෙන් පනත අනුව අනුමැතිය ලබා දීලා තිබෙන්නේ වර්ග අඩි 650යි. නමුත්, අවශ්‍යතාව අනුව සහ අමුද්‍රව්‍යවල මිල ගණන් වැඩිවීම හේතුවෙන් එය වර්ග අඩි 550 දක්වා අඩු කරලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ සඳහා අනුමැතිය ලැබෙන තෙක් මේ වනවිට ලබා දෙන මුදලින් වර්ග අඩි 650ම සම්පූර්ණ කිරීම වෙනුවට කාමරයක්, මුළුතැන්ගෙයක් සහ වැසිකිළියක් සකස් කර පදිංචි කිරීමට අවශ්‍ය කටයුතු කරනවා.
අධික වර්ෂාව සහිත අවස්ථාවලදී ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන අනතුරු ඇඟවීම් අනුව අධි අවදානම් ස්ථානයන්හි පදිංචිව සිටින පුද්ගලයින් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ ඉවත් කර සුරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර තිබෙනවා.
ගරු කථානායකතුමනි, යෝජනා හැටියට තිබෙන්නේ මේවායි. ඉඩමක් මිලදී ගැනීම සඳහා ලබා දෙන රුපියල් ලක්ෂ 4ක මුදල, රුපියල් ලක්ෂ 5ක් දක්වා වැඩි කරන්නත්, නිවසක් ඉදිකිරීම සඳහා දැනට ලබා දෙන රුපියල් මිලියන 1.2ක -රුපියල් ලක්ෂ 12ක- මුදල රුපියල් ලක්ෂ 20 දක්වා වැඩි කරන්නත්, නිවසක් සමඟ ඉඩමක් මිලදී ගැනීම සඳහා දැනට ලබා දෙනු ලබන රුපියල් ලක්ෂ 16ක මුදල, රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කරන්නත් අපි දැනට කටයුතු කර තිබෙනවා. එම අනුමැතිය ආවාම අපි ඒ අනුව තමයි ප්‍රතිලාභීන්ට ප්‍රතිලාභ ගෙවන්නේ.
(v) මේ සම්බන්ධයෙන් අවස්ථානුකූලව අමාත්‍ය මණ්ඩලය හරහා ප්‍රතිපත්තිමය තීරණ ගැනීම හා ඒ අනුව කටයුතු කිරීමට අපේක්ෂිතයි. ගරු කථානායකතුමනි, ඒ ගැන මම කෙටියෙන් පැහැදිලි කරන්නම්. ඉදිරියේදී මෙවැනි තත්ත්ව වළක්වාලීම සඳහා තිරසර, විද්‍යානුකූල ක්‍රමවේදයක අවශ්‍යතාව අපේ රජය හොඳින්ම වටහාගෙන තිබෙනවා. උපායශීලි ලෙස, ජාතික මට්ටමෙන් සියලු කරුණු කාරණා සම්බන්ධ වෙන ලෙස අපි ඒ ගැන සැලකිල්ලට භාජන කරගෙන ක්‍රමවේද වෙනස් කිරීම් කරන්න කටයුතු කර තිබෙනවා. ඒ අනුව නාය යෑම් වළක්වා ගැනීම මෙන්ම නාය යෑම් අවම කර ගැනීම සඳහා අපි structural mechanism එකක් හඳුන්වා දෙන්න ඉදිරියේදී කටයුතු කරනවා.
ඒ වාගේම නාය යෑම් අවස්ථාවන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා පූර්ව සූදානම් කිරීම මෙන්ම නාය යෑම් අවදානම පිළිබඳව පූර්ණ දැනුවත් කිරීම සඳහා early warning system එක අපි තවත් යාවත්කාලීන කරනවා. ප්‍රධාන වශයෙන් ආපදා වැළැක්වීම, ආපදා අවදානම් අවම කිරීම, ආපදා සඳහා ප්‍රතිචාර දැක්වීම, පූර්ව සූදානම් කිරීම, කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන හා සියලු පාර්ශ්වික ආයතන එකම ජාලයකට ඇතුළත් කර කටයුතු කරනවා.
අපට බලපා තිබෙන ප්‍රධානම ප්‍රශ්න ටික තමයි අවිධිමත්ව, අනීතිකව, අදූරදර්ශීව සහ සැලසුමක් නැතිව කරන අනවසර ඉදිකිරීම්, සැලසුමක් නැති සමහර සංවර්ධන ව්‍යාපෘති, පාරිසරික වශයෙන් සැලකිල්ලට භාජන කළ යුතු කරුණු කාරණා සැලකිල්ලට නොගෙන සිදු කරන වන විනාශ, කඳු කැපීම්, වැලි ගොඩ දැමීම සහ පාරවල් අයිනේ විශාල වශයෙන් පස් කැපීම වැනි ඒවා. ඒ හේතුවෙන් එම ප්‍රදේශ විශාල අවදානමකට ලක් වෙලා තිබෙනවා. ඒ නිසා නාය යෑම් අනතුරු සිදු විය හැකි අවදානම් කලාප ඉදිරි සංවර්ධන කටයුතු සඳහා සම්පූර්ණයෙන් තහනම් කරලා තිබෙනවා. විශේෂයෙන්ම ගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අපි එය සම්බන්ධ කර තිබෙනවා.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-01-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks