E   |     |  

 දිනය: 2024-03-21   පිළිතුර ලබා දී ඇත 

0003/2024: වියළි කාලවලදී මධ්‍යම කඳුකරයේ වනාන්තර ගිනි තැබීම: වැළැක්වීම

3/2024

ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා,— වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

(අ)         (i)       සෑම වර්ෂයකම අධික වියළි කාළගුණ තත්ත්ව පවතින කාලවලදී මහනුවර, පන්විල සහ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බලප්‍රදේශ ඇතුළු මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවල රක්ෂිත වනාන්තර, ජල පෝෂක ප්‍රදේශ ආශ්‍රිත වනාන්තර සහ කුඩා ලඳු කැළෑ ගිනි තබන බවත්;

(ii) ඒ හේතුවෙන් ජල උල්පත් සිඳීයාම, වර්ෂා කාලයට කඳු මුදුන්වල ඇති ගල් පෙරලීම හා  නාය යාම් ඇති වීම වැනි හානි සිදු වන බවත්;

එතුමිය දන්නෙහිද?

(ආ) (i) එසේ නම්, ඉහත ගිනි තැබීම් වැළැක්වීම සඳහා පියවර ගෙන තිබේද;

(ii) උණුසුම් කාළගුණයත් සමඟ ගිනි ගැනීම් සීඝ්‍රයෙන් පැතිරීම පාලනය කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;

(iii) සංවේදී පරිසර පද්ධති ආරක්ෂා කිරීම සඳහා තිරසර විසඳුමක් ලබා දෙන්නේද;

(iv) එසේ නම්, එම විසඳුම කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2024-03-21

අසන ලද්දේ

ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු කථානායකතුමනි,  එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)          (i)      සෑම වර්ෂයකම අධික වියළි කාලගුණ තත්ත්ව පවතින කාලවලදී මහනුවර, පන්විල සහ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බලප්‍රදේශ ඇතුළු මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවල රක්ෂිත වනාන්තර, ජල පෝෂක ප්‍රදේශ ආශ්‍රිත වනාන්තර, තෘණ භූමි සහ කුඩා ලඳු කැලෑ විවිධ හේතු මත පුද්ගලයන් හෝ පුද්ගල කණ්ඩායම් විසින් විවිධ කැලෑ ගිනි තැබීම සිදු කරනු ලබයි. මේවා බොහෝ විට ඉඩම් අත් පත් කර ගැනීම, සත්ත්ව පාලනයේ දී සතුන්ට ආහාර ලබා ගැනීම, දැව නොවන වනජ නිෂ්පාදන ලබා ගැනීම, විනෝදය හා නොදැනුවත්කම වැනි හේතූන් මත සිදු කරනු ලබයි.

(ii) ඔව්.

වියළි කාලයේ දී සිදු කරනු ලබන ගිනි තැබීම් නිසා පසට ඇති ශාක ආවරණය දුර්වල වීමත්, පසේ කාබනික ද්‍රව්‍ය පිලිස්සී විනාශ වී යෑමත්,  වනාන්තර ආශ්‍රිත ජෛව විවිධත්වයට හානි වීමත්, ගින්නෙන් මිය ගිය ශාකවල මූල පද්ධති ඔස්සේ ජලය කාන්දු වීමත් හේතු කොටගෙන එම ප්‍රදේශවල නායයෑම්, ගල් පෙරළීම් වැනි තත්ත්වයන් ඇති වන අතර, පසේ ජලය රඳා ගැනීමේ හැකියාව හීන වීම නිසා ජල උල්පත් සිඳී යෑම් වැනි තත්ත්වයන් ඇති වේ.

(ආ) (i) අවශ්‍ය පියවර ගෙන ඇත.

1.  වරදකරුවන් වෙත නීතිමය පියවර ගැනීම.

  • වන සංරක්ෂණ ආඥාපනතේ (2009 සංශෝධිත) II වන පරිච්ඡේදයේ රක්ෂිත වනයක තහනම් කරන ලද ක්‍රියා යටතේ 6.(2).(ව). වගන්ති ප්‍රකාරව යම් ගින්නක් දල්වන හෝ දල්වා තබන හෝ රැගෙන යන හෝ යම් ගින්නක් දැල්වීමට සලස්වන හෝ යම් ගින්නක් දැල්වෙමින් පැවතීමට හෝ පැතිර යාමට ඉඩ හරින යම් තැනැත්තෙකු වරදකරු වන අතර, අවුරුදු හතක් නොඉක්ම වූ කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් විසිපන්දහසකට නොඅඩු සහ රුපියල් දෙලක්ෂයක් නොඉක්මවන්නා වූ දඩයකට හෝ එකී බන්ධනාගාරගත කිරීම හා දඩය යන දෙකටම හෝ යටත් විය යුතුය.
  • වන සංරක්ෂණ ආඥාපනතේ (2009 සංශෝධිත) II වන පරිච්ඡේදයේ රක්ෂිත වනයක තහනම් කරන ලද ක්‍රියා යටතේ 7.(1).(ඌ). වගන්ති ප්‍රකාරව යම් ගින්නක් දල්වන, දල්වා තබන හෝ දැල්වෙමින් තැබීමට ඉඩ හරින හෝ යම් ගින්නක් ඇවිලෙන්නට සලස්වන හෝ ගින්න පැතිරී යාමට ඉඩ හරින හෝ ගින්නක් රැගෙන යන යම් තැනැත්තෙකු වරදකරු වන අතර, අවුරුදු පහක් නොඉක්ම වූ කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් දස දහසකට නොඅඩු සහ රුපියල් ලක්ෂයක් නොඉක්මවන්නා වූ දඩයකට හෝ එකී බන්ධනාගාරගත කිරීම හා දඩය යන දෙකටම හෝ යටත් විය යුතුය.

2. ග්‍රාමීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

  • අදාළ ක්‍රියාකාරකම් සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වාර්ෂික අය වැයෙන් සෑම දිස්ත්‍රික්කයක් වෙතම ප්‍රතිපාදන වෙන් කර ලබා දී ඇත.
  • මෙම දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ග්‍රාමීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ප්‍රජා සහභාගීත්වයෙන් සිදු කරනු ලැබේ. උදාහරණ වශයෙන් ග්‍රාමීය ප්‍රජාව, පාසල් සිසුන්, රාජ්‍ය නිලධාරින් (ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින් හා ග්‍රාම නිලධාරින්, ආපදා කළමනාකරණ අංශ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරින්) යනාදී වශයෙනි.

3. කිසියම් කැලෑ ගිනි ඇති වීමකදී එය මර්දනය කිරීම සඳහා, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින් හා ග්‍රාම නිලධාරින්, ආපදා කළමනාකරණ අංශ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරින්ගේ සහයෝගය ලබා ගැනීම.

4. ගිනි ඇති වෙන ගම්මාන ආශ්‍රිතව ප්‍රජා සහභාගිත්වයෙන් යුතු ගිනි ආරක්ෂණ කමිටු පිහිටුවීම, එම කමිටු මඟින් අවශ්‍ය තොරතුරු ලබා ගැනීම හා ගිනි පාලනය සඳහා සහාය ලබා ගැනීම.

5. ගිනි නිවාරණය සඳහා ක්‍රියාත්මක කරනු ලබන පාර්ශ්වකාර ආයතනවල සහභාගිත්වයෙන් යුතු ඒකාබද්ධ යන්ත්‍රණවල කාර්යභාරයන්ට නිසි දායකත්වය දැක්වීම.

(ii)

  • 2024 වර්ෂය සඳහා කැලෑ ගිනි ඇතිවීම වැළැක්වීම හා පාලනය වෙනුවෙන් වාර්ෂික අය වැයෙන් රුපියල් 10,000,000.00ක ප්‍රතිපාදනයක් වෙන් කර ඇත.
  • එම ප්‍රතිපාදන මඟින් මුළු දිවයිනම ආවරණය වන පරිදි කිලෝමීටර 25ක ගිනි පටි ස්ථාපිත කිරීම, ගිනි මුරකරුවන් යෙදවීම, ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් ඇතුළු ගිනි පාලන වැඩසටහන් 75ක් ක්‍රියාත්මක කිරීම හා ගිනි නිවීමේ උපකරණ කට්ටල 20ක් මිලදී ගැනීම සිදු කරයි.
  • ගිනි ආරක්ෂණ කමිටු පිහිටුවීම, ගිනි ඇතිවීමට තුඩු දෙන ප්‍රදේශ හඳුනා ගැනීම හා තර්ජිත ප්‍රදේශ දැක්වෙන සිතියම් සකස් කිරීම ඇතුළු ක්‍රියාකාරකම් සිදු කිරීමට අපේක්ෂා කෙරේ.
  • 2023 ඔක්තෝබර් 03 දින නිකුත් කරන ලද අමප 23/1667/613/018 දරන කැලෑ ගිනි ඇතිවීම වැළැක්වීම හා පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම යන මැයෙන් යුත් අමාත්‍ය මණ්ඩල සංදේශයේ 3.0 ජේදයෙහි  3.1 සිට 3.9 දක්වා වන නිර්දේශ යටතේ කටයුතු කරන ලෙස දන්වමින් සියලු දිසා වන නිලධාරින් දැනුවත් කිරීම හා මාර්තු මස 25 වන දින සිට 31 වන දින දක්වා කැලෑ ගිනි පාලන සතියක් ක්‍රියාත්මක කිරීම සිදු කරන ලදී.
  • වාර්ෂිකව භාණ්ඩාගාරය මඟින් ලැබී ඇති ප්‍රතිපාදන සීමිත බැවින් කැලෑ ගිනි පාලනය කිරීම සඳහා පෞද්ගලික අංශයේ සහයෝගය ලබා ගැනීමටද අවශ්‍ය ඉල්ලීම් කර ඇත.
  • අවශ්‍ය අවස්ථාවලදී ගුවන් හමුදා සහාය ලබා ගෙන බෙල් හෙලිකොප්ටර් මඟින් ගිනි නිවීම සඳහා පියවර ගැනීමට අපේක්ෂා කරයි.
  • වන නිලධාරීන් මුර සංචාර කටයුතු වැඩි වාර ගණනක් සිදු කිරීම.
  • විශේෂයෙන් 2024 වර්ෂය සඳහා මහනුවර දිසාවේ ඇති වනාන්තර තුළ ගිනි ගැනීම් මර්දනය සඳහා ප්‍රතිපාදන වශයෙන් රුපියල් 656,522.00ක මුදලක් වෙන් කර දී ඇත.
  • එමෙන්ම ගිනි නිවාරණ වැඩසටහන් සඳහා විවිධ රාජ්‍ය නොවන ආයතනවල සහයෝගයෙන්ද වැඩ සටහන් කරනු ලැබේ.
  • විශේෂයෙන් මහනුවර දිසාවේ ඇති වනාන්තර තුළ ගිනි ගැනීම් මර්දනය සඳහා පසුගිය වර්ෂ 5ක සිදු කළ වැඩසටහන් පිළිබඳ තොරතුරු හා ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් පිළිබඳ තොරතුරු ඇමුණුම මඟින් ඉදිරිපත් කරමි. ඇමුණුම සභාගත* කරමි.
  • ගිනි ගැනීම්වලට එරෙහිව ක්‍රියා කිරීම සඳහා වන ජීවි හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ හැකියා වර්ධනය සිදු කරනු ලැබේ.
  • කැලෑබදව ඇතිවෙන ගිනි නිවීම සඳහා නිලධාරීන් යෙදවීම.
  • ජනතාව දැනුවත් කිරීම.
  • නීතිය ක්‍රියාත්මක කිරීම.

(iii) ශ්‍රී ලංකාවේ සියලු වනාන්තර සංවේදී පරිසර පද්ධතීන් වේ. මෙම සංවේදී පරිසර පද්ධති ආරක්ෂා කිරීම සඳහා තිරසර විසඳූම් ලබා දී ඇත.

(iv) ඔව්.

  • මෙම සංවේදී පරිසර පද්ධතිවලින් සුවිශේෂී සංවේදී පරිසර පද්ධති සංරක්ෂිත හා රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
  • උදාහරණ ලෙස මධ්‍යම කඳුකරයේ නකල්ස් සංරක්ෂිත වනාන්තරය හා සිංහරාජ වනාන්තරය දැක්විය හැක.
  • මෙම කලාප දෙකම ජාතික උරුම වනභූමි ලෙස නීති මඟින් ප්‍රකාශයට පත් කිරීම. මීට අමතරව, ගාල්ල දිස්ත්‍රික්කයේ කන්නෙලිය වනාන්තරය හා පුත්තලම පුබුදුගම කඩොලාන වනාන්තරය ජාතික උරුම වනභූමි ලෙස ප්‍රකාශයට පත් කිරීමට යෝජනා කර ඇත. සිංහරාජ සංරක්ෂිතයට යාබදව ඇති වනාන්තර එකතුකොට සිංහරාජ වන සංකීර්ණයක් නිර්මාණය කිරීම.
  • සිංහරාජ සංරක්ෂිතය හා නකල්ස්  සංරක්ෂිතය යුනෙස්කෝ ලෝක උරුමයන් බවට පත් කර ගැනීමට කටයුතු කිරීම වැනි බහුවිධ කටයුතු සිදු කර ඇත.
  • සංවේදී පරිසර පද්ධතීන් මෙලෙස ප්‍රකාශයට පත් කිරීම මඟින් මෙම අනිසි මානව ක්‍රියාකාරකම් පාලනය කිරීමට කටයුතු කර ඇත.
  • සියලුම වනාන්තර වටා මායිම් කණු යෙදීම සහ ජනතාව දැනුවත් කිරීම සඳහා දැන්වීම් පුවරු යෙදීම මඟින් ජනතාව වනාන්තර තුළට ඇතුළු වීම පාලනය කිරීම සිදු වේ.
  • එසේම වනාන්තර අවට වාසය කරන ප්‍රජාව, පාසල් සිසුන් සංරක්ෂණයේ අගය පිළිබඳව දැනුවත් කිරීම තුළින් ආකල්ප වර්ධනය කිරීම.
  • සංරක්ෂිත, රක්ෂිත, ගම්බද කැලෑ හා අවශේෂ කැලෑ වනාන්තරවල පාරිසරික හානි සිදු කරන අයට එරෙහිව නීතිමය පියවර ගැනීම.

(ඇ) ඉහතින් පිළිතුරු ලබා දී ඇත.

 

පිළිතුරු දුන් දිනය

2024-06-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks