01

E   |     |  

 දිනය: 2023-03-22   පිළිතුර ලබා දී ඇත 

2012/2023: කැලණි ගඟ: ගංවතුර පාලනය

2012/2023

ගරු යදාමිණී ගුණවර්ධන මහතා,—  වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මහවැලි, වලවේ සහ ගල්ඔය ආදී ගංගා නිම්න බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් එම නිම්න ආශ්‍රිතව ගංවතුර පාලනය වීමෙන් වාර්ෂිකව ගංගා ආශ්‍රිතව ජීවත්වන ජනතාවට හා ජාතික ආර්ථිකයට සිදු වන හානිය අවම වී තිබෙන බවත්;

(ii) කැලණි ගඟ ආශ්‍රිතව බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

 

(ආ) (i) ගංවතුර හානි පූරණය කිරීම සඳහා පසුගිය වසර 05ක කාලය තුළ වෙන් කරන ලද  ප්‍රතිපාදනය;

(ii) එම මුදලෙන් කැලණි ‍ගඟ ආශ්‍රිත ගංවතුර හේතුවෙන් සිදු වූ හානි පූරණය කිරීමට වෙන් කරන ලද මුදල;

(iii) පසුගිය වසර 05 කාලය තුළ ගංවතුර හේතුවෙන් ආපදාවට ලක් වූ පුද්ගලයන් සංඛ්‍යාව;  ‍

  (iv) ඒ අතරින් කැලණි ගඟ ආශ්‍රිත ගංවතුර හේතුවෙන් ආපදාවට ලක් වූ පුද්ගලයන් සංඛ්‍යාව;

කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) කැලණි ගඟ ආශ්‍රිත ගංවතුර පාලනය කිරීමට වෙන් කර ඇති මුදල ප්‍රමාණවත් වන්නේද;

(ii) කැලණි ගඟ ආශ්‍රිත ගංවතුර තත්ත්වය පාලනය කිරීමට ව්‍යාපෘති සැලසුමක් සකස් කර තිබේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-03-22

අසන ලද්දේ

ගරු යදාමිණී ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       මහවැලි බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මඟින් මහවැලි ගඟ සංවර්ධන කටයුතු සිදු කර ඇති අතර, මහවැලි විශේෂ කලාපයක් ලෙස වලවේ ගඟ සංවර්ධන කටයුතු කර ඇත. ගල්ඔය ගංගා ධාරාවද ගල්ඔය ව්‍යාපෘතිය මඟින් බහුකාර්ය ව්‍යාපෘතියක් ලෙස සංවර්ධන කටයුතු සිදු කරන ලදී. මෙම ගංගා ආශ්‍රිතව පිහිටි වාරි ව්‍යාපෘති මඟින් ජලාශ ඉදිකර ජල අවශ්‍යතාව සපුරාලීම මෙන්ම ගංවතුර පාලනය දැනට ඉතා සාර්ථක අයුරින් ප්‍ර‍යෝජනයට ගනිමින් පවතී. මෙම ඉහළ සහ පහළ ධාරා ප්‍රදේශවල පිහිටා ඇති ජලාශ හේතු කොට ගෙන ගංගා ආශ්‍රිතව ඇති වන ගංවතුර උපද්‍රව පාලනය වීමත් සිදු වන නිසා ගංගා ආශ්‍රිතව ජීවත් වන ජනතාවට හා ජාතික ආර්ථිකයට ගංවතුර නිසා සිදු වන හානිය අවම වී තිබේ.

(ii)  ඔව්.

· බහුකාර්ය ව්‍යාපෘතියක් ලෙස කැලණි ගඟ සංවර්ධනය සිදු වී නොමැති අතර, කලින් කලට ක්‍රියාත්මක කරන ලද විදුලිබල හා පානීය ජල ව්‍යාපෘති පමණක් ක්‍රියාත්මක කර ඇත‍.

(ආ) (i) රුපියල් මිලියන 914.25.

මේ තිබෙන්නේ වාරිමාර්ග අමාත්‍යාංශය හරහා විවිධ කටයුතුවලට වෙන් කරන ලද මුදල් ප්‍රමාණය විතරයි. මීට අමතරව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාගේම ප්‍රාදේශීය ලේකම්තුමන්ලා හරහා වෙන වෙනම මුදල් වෙන් කර තිබෙන බවත් මම සඳහන් කරන්න ඕනෑ.

(ii)  වාරිමාර්ග අමාත්‍යාංශය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හරහා රුපියල් මිලියන 477.09ක් වියදම් කර තිබෙනවා.

(iii)  441යි.  ආපදාවට ලක් වූ පුද්ගලයන් සංඛ්‍යාව 363,256ක්.  441දෙනෙකු මිය ගිහිල්ලා තිබෙනවා.

(ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්තාවලට අනුව 2013 සිට 2017 දක්වා කාලය තුළ ගංවතුර ආපදා ඇතුළු අනෙකුත් ආපදා නිසා ජීවිත හානි වූ පුද්ගලයන් සංඛ්‍යාව)

(iv) 33යි.  අනවසර පදිංචිකරුවන් පිළිබඳව ගණනය කරලා නැහැ. ඒ තොරතුරු ප්‍රාදේශීය ලේකම්තුමන්ලා හරහා ලබා ගත යුතුයි. අපට අදාළ වෙන්නේ නැහැ.

 

(ඇ) (i) සහ (ii) ලබා දී තිබෙන මුදල් ප්‍රමාණය හරහා අදියර තුනකදී කරන කාර්ය භාරය පිළිබඳව පැහැදිලි කරන්න මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ‍

කැලණි ග‍ඟේ  ගංවතුර පාලනය කිරීම සඳහා මේ වන තෙක් වෙන් කර ඇති මුදල ප්‍රමාණවත් නොවේ.

කැලණි ග‍ඟේ ගංවතුර පාලනය සඳහා ලෝක බැංකු ආධාර යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 430ක ව්‍යාපෘතියක් අදියර 3ක් යටතේ ක්‍රියාත්මක වීමට ඇත.

  • එහි පළමු අදියර සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 92ක් වෙන් වී ඇත.

ඒ යටතේ,

  • ගංවතුර හා නාය යෑම් පූර්ව අනතුරු දැනුම් දීමේ පද්ධතියක් ස්ථාපනය කිරීම
  • අඹතලේ ලවණ ජල බාධකයක් ඉදි කිරීමට සැලසුම් කර ඇත.

ගංවතුර හා නාය යෑම් පූර්ව අනතුරු දැනුම් දීමේ පද්ධතිය ස්ථාපනය කිරීම යටතේ වර්ෂාපතන දත්ත ලබා ගැනීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ද, ඒ

අනුසාරයෙන් කැලණි ග‍ඟේ ගංවතුර පූර්ව දැනුම් දීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ද, නාය යෑම් පූර්ව දැනුම් දීම සඳහා අවශ්‍ය

කටයුතු කිරීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයට ද අවශ්‍ය නවීන පහසුකම් හා පුහුණුව ලබා දීමට නියමිතය.  තවද, මේ යටතේ මෙම සියලු ආයතන එක්ව

ඒකාබද්ධ ආපදා කළමනාකරණ කටයුතු යන්ත්‍රණයක් සකස් කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අවශ්‍ය පහසුකම් හා පුහුණුව ලබා දීමට  නියමිතය.

එසේම, අඹතලේ ඉදිකිරීමට යෝජිත ලවණ බාධකය ඉදිකිරීමෙන් අනතුරුව කොළඹ හා අවට නාගරික ප්‍රදේශවලට පානීය ජලය සැපයීමේදී ලවණ ජලය මුසුවීම හේතුවෙන් සිදු වන ගැටලුව සඳහා විසඳුම් ලැබීමට නියමිතය.

දැනට පවතින ලවණ බාධකය හේතුවෙන් ගංවතුර බැස යාමට ගතවන කාලය හා කඩුවෙල ඇතුළු අඹතලේ ඉහළ කොටසේ ඇති වී ඇති ගංවතුර තත්ත්වයන්වල

අඩුවීමක් සිදු වේ. එසේම මේ යටතේ කැලණි ග‍ඟේ අතු ගංගාවක් වන වී ඔයේ ජලාශයක් සෑදීමට සැලසුම් කටයුතු  සිදු වේ. මේ සියල්ල පළමු අදියරේ ක්‍රියාත්මක වීමට නියමිත ක්‍රියාකාරකම් ය.

  • මෙහි දෙවන අදියර සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 195ක් වෙන් කර ඇත.

ඒ යටතේ,

  • වී ඔය ජලාශයේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට නියමිතව ඇත. මෙම ජලාශයේ ධාරිතාව ඝන මීටර් මිලියන 48ක් වන අතර, මෙමඟින්
  • කොළඹ නගරය හා අවට ප්‍රදේශවල පානීය ජල අවශ්‍යතාව සපුරා ගැනීමට හැකියාව ලැබෙන අතර ම ගංවතුර පාලනයට උදව් වේ.
  • ඒ අතර ඉහළ දැරණියගල ජලාශයේ සැලසුම් කටයුතු මේ අදියරේ දී අවසන් කිරීමට ද නියමිතය.

මෙහි තෙවන අදියර යටතේ ඉහළ දැරණියගල ජලාශයේ ඉදිකිරීම් කටයුතු සිදු කරන අතර මුළු ව්‍යාපෘති පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 430කි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී වියළි කාලවල ලවණතාව ගංගා ජලයට මිශ්‍රවීමෙන් පානීය ජලයේ ගුණාත්මකභාවයට සිදු වන හානිය වළක්වාගත හැකි අතරම, ප්‍රමාණාත්මකව කොළඹ අවට නාගරික ප්‍රදේශ සඳහා අවශ්‍ය කරන පානීය ජලය ලබා දීමට ද හැකියාව ලැබේ.

එසේම, නාය යෑම් හා ගංවතුර ඇතිවීම සම්බන්ධයෙන් පූර්ව දැනුම් දීමේ ක්‍රමවේදය වඩාත් නිවැරැදිව සිදු කිරීමේ හැකියාව තුළින් ජීවිත හා දේපළ හානි වීම අවම කරගත හැකි වේ. එසේම ආපදා කළමනාකරණ හා සම්බන්ධ ක්‍රියාවලිය ශක්තිමත් හා කාර්යක්ෂම කිරීමට ද මෙමඟින් අපේක්ෂා කෙරේ. මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් කැලණි ගංවතුර පාලනය කිරීමට හැකි වේ.

(ඈ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2023-03-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks