E   |     |  

 දිනය: 2023-03-10   පිළිතුර ලබා දී ඇත 

1316/2023: මාවනැල්ල, දෙවනගල රජමහා විහාරයේ පුරාවිද්‍යාත්මක සාක්ෂි: සංරක්ෂණය

1316/2023

ගරු මොහමඩ් මුසම්මිල් මහතා,—  බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      මාවනැල්ල, දෙවනගල රජමහා විහාරයේ පෞරාණිකත්වය වර්ෂවලින් කොපමණද;

            (ii)       එම විහාරස්ථානයෙන් පුරාවිද්‍යාත්මකව වැදගත් සාක්ෂි හමු වී තිබේද;

(iii) එම සාක්ෂි සංරක්ෂණය කිරීම සඳහා මේ වනවිට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-03-10

අසන ලද්දේ

ගරු මොහමඩ් මුසම්මිල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ප්‍රාග් ඓතිහාසික යුගයේ සාධකවල සිට අනුරාධපුර යුගය, පොළොන්නරු යුගය, මහනුවර යුගය යන යුගවලට අයත් සාධක හමුවේ. ඒවා මෙසේය.

                        අදින් වසර 125,000ක කාලයේ සිට ප්‍රාග් ඓතිහාසික මානවයා වාසය කළ බවට සාධක ශ්‍රී ලංකාවෙන් අනාවරණය වේ. දෙවනගල පර්වතය ආශ්‍රිතව මධ්‍ය ශිලා යුගයට අයත් ශිලාමය සාධක දක්නට ලැබේ. මහාවංශයට අනුව මෙම ස්ථානයේ ධාතුසේන රාජ්‍ය කාලයේ (ක්‍රි.ව. 455-473) අටළොස් වෙහෙරක් කරවූ බව සඳහන් වේ. එසේම දෙවනගල ගිරි ලිපිය අංක 01, පළවන විජයබා රාජ්‍ය කාලයට අයත් වූවකි. දෙවනගල ගිරි ලිපි අංක 02 ලිපිය පළවන විමලධර්මසූරිය (ක්‍රි.ව. 1153-1186) කාලයට අයත් වූවකි. ගල්තලාවේ ඉදිරිපිට පිහිටා ඇති ගිරි ලිපිය, දෙවනගල අංක 03 සෙල් ලිපිය කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය කාලයට (ක්‍රි.ව. 1592-1627) අයත් වේ. මේ අනුව ඈත ඉතිහාසයේ පටන්ම මෙම ස්ථානය ජනාවාසයක්ව පැවැති බවට සාධක ඇත.

(ii) ඔව්‍‍.

(iii) ඔව්. 1941 වර්ෂයේ පටන් ක්‍රියාමාර්ග 16ක් පමණ ගෙන තිබෙනවා.

දෙවනගල පුරාවිද්‍යා ස්ථානයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 1941.12.12න් පසුව සිදු කර ඇති ‍මැදිහත්වීම්.

  • ‍1941.12.12 දින අංක 8829 දරන ගැසට් පත්‍රය මඟින් ආරක්ෂිත ස්මාරකයක් ලෙස ගැසට් කරන ලදී.
  • මූලික ගවේෂණයක් සිදු කර පුරාවිද්‍යා ස්ථාන හඳුනා ගෙන ලේඛනගත කර පුරාවිද්‍යා ස්ථාන ස්මාරක ලෙස ‍ගැස‍ට් කිරීමට කටයුතු කිරීම.
  • විස්තීර්ණ ගවේෂණයක් සිදුකොට පුරාවිද්‍යා ස්ථාන විධිමත්ව වාර්තාගත කිරීම හා පුරාවිද්‍යා ආරක්ෂිත භූමිය වෙන් කළ පුරාවිද්‍යා භූමියක් ලෙස නම් කිරීමට අදාළ කටයුතු සිදු කිරීම.
  • 70 දශකයේදී ස්තූපය සංරක්ෂණය සඳහා මූලික පාදා ගැනීම් සිදු කිරීම.
  • 1984 වර්ෂයේදී ස්තූපයේ කපරාරුව සකස් කිරීම.
  • 1984 වර්ෂයේදී විනාශ වී තිබුණු ධර්ම ශාලාව සංරක්ෂණය කිරීම.
  • 1984-1988 විනාශ වී තිබුණු ටැම්පිට විහාරය සංරක්ෂණය කිරීම.
  • නිදන් ගැනීමේ අභිලාෂයෙන් හාරා විනාශ කර තිබුණු චෛත්‍ය සංරක්ෂණය කිරීම.
  • 2011 දී ධර්ම ශාලාව සංරක්ෂණය කිරීම.
  • වරින් වර සිදු කර ඇති විනාශ කිරීම් හමුවේ දැඩි ලෙස හානියට පත්ව තිබුණු පිළිම හා ටැම්පිට විහාරයේ සිතුවම් හා මූර්ති සංරක්ෂණයට අවශ්‍ය වාර්තාගත කිරීම් සිදු කිරීම.
  • 2011 සහ 2018 වර්ෂයන්හිදී ප්‍රතිමා ගෘහයේ මූර්ති හා චිත්‍ර සංරක්ෂණය කිරීම.
  • ස්ථානයේ පිහිටි ශිලා ලේඛන පිටපත් කිරීම, පරිවර්තනය කොට මහජනතාවට දැන ගැනීම පිණිස ප්‍රකාශයට පත් කිරීම.
  • ශිලා ලේඛන හා සිරිපතුල්ගල ආරක්ෂා කර ගැනීම සඳහා ආරක්ෂිත වැට සහ ගෘහයන් නිර්මාණය කිරීම.
  • 2006 වර්ෂයේ සිට මෙම ස්ථානයේ නඩත්තු කටයුතු සිදු කිරීමට පුරාවිද්‍යා වැඩ බිම් කාර්යාලයක් හා කලාප කාර්යාලයක් පිහිටුවීම.
  • ස්ථානයේ ආරක්ෂාව සඳහා සිවිල් ආරක්ෂක බලකායේ සේවය ලබා ගැනීමට කටයුතු කිරීම.
  • ස්ථානයට අදාළව හැඳින්වීමේ නාම පුවරු, ස්ථානීය නාම පුවරු, විස්තරාත්මක නාම පුවරු හා දැනුවත් කිරීමේ පුවරු යෙදීම.

 

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2023-03-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks