01

E   |     |  

 දිනය: 2023-05-12   පිළිතුර ලබා දී ඇත 

1314/2023: දැදුරු ඔය ජලාශ ව්‍යාපෘතිය: අරමුණු සහ ප්‍රතිලාභ

1314/2023

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       දැදුරු ඔය ජලාශ ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය සහ අවසාන පිරිවැය  වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)       මේ වනවිට එම ව්‍යාපෘතියේ වැඩ  අවසන්  කර තිබේද;

(iii) එය ආරම්භ කිරීමේ අරමුණු කවරේද;

(iv) මේ වන විට එම අරමුණු ඉටු වී තිබේද;‍

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) දැදුරු ඔය ජලාශයේ දකුණු ඉවුරු ඇළෙන් සහ වම් ඉවුරු ඇළෙන් මුදා හැරීමට සැලසුම් කර ඇති උපරිම ජලය ප්‍රමාණය  වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) එම ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් පසු සැලසුම් කරන ලද පරිදි වම් ඉවුරු ඇළෙන් සහ දකුණු ඉවුරු ඇළෙන් ජලය මුදා හැරීම සිදු කරන්නේද;

(iii) දකුණු ඉවුරේ සහ වම් ඉවුරේ ව්‍යුහයන් නිසි අත්තිවාරමකින් හෝ නිසි සම්බන්ධ කිරීම්වලින් තොරව ඉදිකර ඇති බව පිළිගන්නේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) ඉහත ව්‍යාපෘතියේ අපේක්ෂිත ප්‍රතිලාභ කවරේද;

(ii) එම ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කර ගැනීමට සහ ජලයෙන් යටවන ඉඩම් සඳහා වන්දි ගෙවීමට දරන ලද පිරිවැය වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න තවදුරටත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-05-12

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා මූලික ඇස්තමේන්තුගත පිරිවැය - රුපියල් මිලියන   6,200.00

                          සංශෝධිත ඇස්තමේන්තු පිරිවැය -  රුපියල්  මිලියන 13,540.00

                        මුළු වියදම -   රුපියල් මිලියන 13,472.60

              (ii)      ඔව්.

            (iii)      මෙම කලාපයේ ගොවීන්ට තිරසර ජීවනෝපායක් ලබා දීම සහ හිඟ සම්පත්වල -ඉඩම් හා ජලය- ඵලදායීතාව ඉහළ නැංවීම රජයට පැවරී ඇති වගකීමක් වන අතර, දැදුරු ඔය සහ මී ඔය ගංගා ද්‍රෝණියේ සාරවත් ඉඩම් සඳහා වාරි ජල සැපයුමක් ලබා දීම.

මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම, 1940 ගණන්වල කරපු ඉල්ලීමක්; විශේෂයෙන්ම සෑම දේශපාලන පක්ෂයකම මැතිවරණ පොරොන්දුවක්. ඒ වාගේම උපදේශක කාරක සභාවලදී අවස්ථා ගණනාවක මේ ඉල්ලීම කරලා තිබෙනවා. විශේෂයෙන් ම සිහිපත් කරන්න ඕනෑ, හිටපු වාරිමාර්ග අමාත්‍යවරයා හැටියට ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා දිගින් දිගටම මේ ඉල්ලීම කළ බව.

(iv) ඔව්.  එහෙත් ප්‍රමාණවත් තරම් මෙහෙයුම් හා නඩත්තු මුදල් නොලැබෙන බැවින් වැසි කාලයේදී ඇළට ගලා යන වැලි සහ පස් හේතුවෙන් හා ඇළෙහි වැවෙන ජලජ ශාක හේතුවෙන් අපේක්ෂිත ප්‍රමාණයෙන් ජලය මුදා හැරීම අපහසු වී ඇත. ඇළ නිසි පරිදි නඩත්තු කරන්නේ නම් දළ වශයෙන් රුපියල් මිලියන 100ක පමණ මුදලක් අවශ්‍ය වේ.

 

(ආ) (i)

  • වම් ඉවුරු ප්‍රධාන ඇළ මාර්ගය - තත්පරයට ඝන මීටර 7 (250 cuesecs)
  • දකුණු ඉවුරු ප්‍රධාන ඇළ මාර්ගය - තත්පරයට ඝන මීටර 8.5 (300 cuesecs)

(ii) ඔව්.

  • වම් ඉවුරු ප්‍රධාන ඇළ මාර්ගය ඔස්සේ ගොවිතැන් රැකගැනීමට ප්‍රමාණවත් පරිදි අවසානය වන කි.මී. 44ක් දක්වා ප්‍රමාණවත් ජලය ලබා දෙන ලදී.
  • දකුණු ඉවුරු ප්‍රධාන ඇළ මාර්ගයෙහි මූලික කොටසෙහි තත්පරයට ඝන මීටර 8.5ක ජල ප්‍රමාණයක් නිකුත් කරන අතර, හි‍ඳෝගම වැවට තත්පරයට ඝන මීටර 5.6ක ජල ප්‍රමාණයක් නිකුත් කෙරේ. මෙම ඇළ මාර්ගයෙහි පවතින උස්සාන වාරි ව්‍යාපාරයේ කුඩා වැව් සඳහා ජලය නිකුත් කරන බැවින් ඉඟිණිමිටිය ජලාශයට තත්පරයට ඝන මීටර 2ක ජලය ලබා දීම සිදු කෙරේ. නමුත් නඩත්තු කටයුතු සඳහා වියදම් දැරීමට හැකි මුදල් ප්‍රමාණය අවම වීම නිසා අපේක්ෂිත පරිදි ජලය සැපයීම සමහර අවස්ථාවන්හිදී අවහිර වේ.

(iii) නිර්මිතයන් නියමිත සැලසුම්වලට අනුකූලව ඉදිකර ඇති අතර, එම ඇළ මාර්ග නඩත්තු කරන ඉංජිනේරුවන් විසින් නිර්මිතවලට අත්තිවාරම් දුර්වලතාවක් නිසා හානියක් වී ඇති බවට මේ දක්වා පැමිණිල්ලක් සිදු කර නොමැත.

(ඇ) (i)

  • හෙක්ටෙයාර 11,115ක් වගා කිරීම සඳහා ජලය ලබා දීම (වම් ඉවුරු ප්‍රධාන ඇළ යටතේ හෙක්ටෙයාර 3,000ක් වගා කිරීම, දකුණු ඉවුරු ප්‍රධාන ඇළ යටතේ හෙක්ටෙයාර 3,000ක්, හුවමාරු ඇළ යටතේ හෙක්ටෙයාර 1,000ක් සහ කුඩා වාරිමාර්ග ව්‍යාපාර යටතේ හෙක්ටෙයාර 4,115ක් වගා කිරීම.)
  • දිනකට ඝන මීටර 16,500ක්, එනම් මහව හා පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් 50,000කට පමණ පානීය ජලය ලබා දීම
  • එමෙන්ම, කටුපොත සහ බමුණාකොටුව ප්‍රදේශවල පවුල් 50,000කට දිනකට ඝන මීටර 17,500ක පානීය ජලය ලබා දීමට යෝජනා වී ඇත. ඒ කටයුත්ත කරනවා.
  • මෙගාවොට් 1.5ක ජල විදුලිය උත්පාදනය කිරීම
  • පවුල් 250ක් මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ යෙදීම (අමතර ප්‍රතිලාභ)
  • මාර්ග ඉදිකිරීම
  • ගංවතුර පාලනය කිරීම

කෙසේ වෙතත්, මේ වන විට ව්‍යාපෘතියේ වම් ඉවුරු ප්‍රධාන ඇළ යටතේ හෙක්ටෙයාර 1,417ක්, දකුණු ඉවුරු ප්‍රධාන ඇළ යටතේ හෙක්ටෙයාර 1,214ක් හා හෙක්ටෙයාර 2,226ක් සඳහා වූ කුඩා වාරි ව්‍යාපාර සඳහා වාරි ජලය ලබා දීම සිදු වෙනවා.

ඒ අනුව වාන මඟින් ජලය ලබා දෙමින් මාගල්ල ව්‍යාපාරයට වම් ඇළ මඟින් කටුගම්පොල, පුත්තලම ප්‍රදේශවලටත්, දකුණු ඇළ මඟින් ඉඟිණිමිටිය ජලාශයටත් ලබා දෙන ජලයෙන් හෙක්ටෙයාර 8,700ක් වියළි කාලවලදී වගා කරන්න අවස්ථාව ලබා දී තිබෙනවා.

(ii)

අනු අංකය

විස්තරය

මුදල (රුපියල් මිලියන)

01

දැදුරු ඔය ජලාශයට වන්දි ගෙවීම

1,910.00

02

දකුණු ඉවුරු ප්‍රධාන ඇළ වන්දි ගෙවීම

424.00

03

වම් ඉවුරු ප්‍රධාන ඇළ වන්දි ගෙවීම

298.00

04

නව බලපෑම් වෙනුවෙන් වන්දි ගෙවීම

170.00

05

අතු ඇළ අංක 01 වන්දි ගෙවීම

20.00

ගෙවා ඇති මුළු වන්දි මුදල

2,822.00

(ඈ) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks