01

E   |     |  

 දිනය: 2021-10-07   පිළිතුර ලබා දී ඇත 

0644/2021: කොළඹ, කළුතර, ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික්ක: ගංවතුර පාලනය

----

අසන ලද දිනය

2021-10-07

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ගංවතුර පාලනය කිරීම සඳහා දේශගුණික අවබලපෑම අවම කිරීමේ ව්‍යාපෘතිය  - CRIP - යටතේ සැලසුම් දෙකක්  යෝජනා කර ඇත.

                        •    කැලණි ගඟ ද්‍රෝණියේ ආයෝජන ව්‍යාපෘතිය

                        •    අත්තනගලු ඔය ද්‍රෝණියේ ආයෝජන ව්‍යාපෘතිය

කැලණි ගඟ ද්‍රෝණියේ ආයෝජන ව්‍යාපෘතිය මඟින් මූලික වශයෙන් අවධානය යොමු කෙරෙන්නේ ඉහළ හංවැල්ල සිට කැලණි ගංමෝය දක්වා ගඟ දෙපස ප්‍රදේශයේ වර්ග කිලෝමීටර 2,292ක් ආවරණය කිරීම වන අතර, අත්තනගලු ඔය ද්‍රෝණියේ ආයෝජන ව්‍යාපෘතිය මඟින් ජා-ඇල සහ ගම්පහ නගර ඇතුළු ආශ්‍රිත ප්‍රදේශයේ වර්ග කිලෝමීටර 773ක් ආවරණය කිරීමට සැලසුම් කර ඇත.

මෙම යෝජනාවලට අදාළ ශක්‍යතා අධ්‍යයන මේ වන විට එම ව්‍යාපෘතිය මඟින් අවසන් කර ඇති අතර, කැලණි ගඟ ද්‍රෝණිය හා සම්බන්ධ යෝජනාවලට අදාළ සැලසුම් ක්‍රියාත්මක කිරීම 2022 වසර මුල සිට ආරම්භ කිරීමට නියමිතය.

එමෙන්ම, රත්නපුර හා කළුතර දිස්ත්‍රික්කවල ගංවතුර තත්ත්වය  අවම කිරීම සඳහා බොහෝ කලක සිට විවිධ අධ්‍යයන හා පර්යේෂණ සිදු කර ඇත. අවසන් වරට 2014 වසරේදී ඊශ්‍රායලය Tahal Group කියන උපදේශක සමාගම විසින් කළු ගඟ ද්‍රෝණියේ ගංවතුර තත්ත්වය පාලනය කිරීම සහ ජල සම්පත් සංවර්ධනය කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර ඇත. මෙමඟින් මෙතෙක් පර්යේෂණවලින් නිර්දේශ කරන ලද යෝජනාවලට වඩා ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කර තිබුණු අතර, මෙම වසරේදී එම ශක්‍යතාවලට අදාළව පූර්ණ අධ්‍යයනයක් සිදු කිරීමට නියමිතය. එසේම, ගංවතුරින් මෙන්ම ලවණ ජලය හේතුවෙන් පීඩා විඳින කළුතර දිස්ත්‍රික්කයේ වැසියන් එම පීඩාවෙන් මුදවමින් මෙම වැඩ පිළිවෙළ සාර්ථක ව්‍යාපෘතියක් ලෙස අවසන් කිරීමේ වගකීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු වේ.

මෙම යෝජනා මඟින් කළු ගඟ ද්‍රෝණියේ පහත ප්‍රධාන අංග 3ක් ආවරණය කෙරේ.

i. රත්නපුර ගංවතුර පාලනය කිරීම සඳහා ඉහළ ධාරා ප්‍රදේශයේ වියළි බැමි - dry dams - ඉදිකිරීම.

රත්නපුරට ඉහළ කළු ගඟේ මල්වල නම් ස්ථානයේ මල්වල වියළි බැම්මත් - dry dam එකත් - දෑල සහ වටාපොත යන ස්ථානවල වියළි බැමි දෙකකුත් ඉදිකිරීමට යෝජනා කර ඇත. "වියළි බැමි" යනු සාමාන්‍ය කාලයට ගඟේ ජලය ගලා යා හැකි පරිදි විවර යොදා කොන්ක්‍රීට්වලින් ඉදිකරන ලද ගේට්ටු නොමැති බැම්මකි. එමඟින් ගංවතුර කාලයට පමණක් බැම්මේ ඉහළ යම් ප්‍රදේශයක් යටවීම සිදු වන නමුත්, සාමාන්‍ය කාලයට එවැනි යටවීමක් සිදු නොවන ආකාරයේ විශේෂිත වාරි බැම්මකි.

ii. කළු ගඟ උතුරු මෝය කට විවෘත කිරීම සහ ලවණ බාධකය ඉදිකිරීම.

වෙරළ තීරයේ සහ මුහුදේ අදාළ නිර්මිත  - groynes - ඉදිකර කළු ගඟ උතුරු මෝය කට විවෘත කිරීමට යෝජනා කර ඇත. මෙමඟින් කළු ගඟ පහළ නිම්නයේ ගංවතුර පාලනය ඉතා පහසු වනු ඇත. එමෙන්ම කළු ගඟ ආශ්‍රිතව දැනට ඉතා විශාල ගැටලුවක්ව පවතින මුහුදු ජලය රට තුළට ඒම වළක්වනු පිණිස කළුතර පාලමට මදක් පහළින් ලවණ බාධකයක් ඉදිකිරීමට ද යෝජනා කර ඇත.

iii. අන්තර් ද්‍රෝණි හැරවුම් - transbasin diversions - මඟින් ජල සම්පත් සංවර්ධනය.

මෙහිදී කළු ගඟේ අතු ගංගා තුනක් හරහා ජලාශ ඉදිකර ඇළවල් සහ උමං මඟින් එම ජලය උඩවලව ජලාශයට රැගෙන යාමට නියමිතය.

ඒ අනුව, කුකුලේ ගඟ ජලාශයට ඉහළින් කුකුලේගමදී කුකුලේ ගඟ හරස් කර ජලාශයක් ඉදිකර, එම ජලය නිරිඇල ගඟ හරස් කර ඉදිකිරීමට නියමිත දෙල්වල ජලාශයට මුදා හැර, ඉන්පසු එම ජලය රක්වාන ගඟ හරස් කර ඉදිකිරීමට නියමිත ගබෙල ජලාශයට මුදු හැරීමට යෝජනා කර ඇත. ඉන් පසුව එම ජලය උඩවලව ජලාශයට එන කුඩා ඔය අතු ගංගාවකට යොමු කර ජල විදුලිය නිපදවීමෙන් පසුව උඩවලව ජලාශයට මුදු හැරෙනු ඇත.

(ii) නැත. අදාළ සියලු යෝජනා ඉහත අ (i) යටතේ පැහැදිලි කරන ලදී.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-10-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සිරිපාල ගමලත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks