01

E   |     |  

 දිනය: 2025-11-22   පිළිතුර ලබා දී ඇත 

1505/2025: බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත යටතට අයත් ඉඩම්: විස්තර

1505/2025

ගරු ධර්මප්‍රිය දිසානායක මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)       2013 අංක 34 දරන බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත යටතට අයත්වන ඉඩම් ප්‍රමාණය කොපමණද;

             (ii)       එම ඉඩම් සම්බන්ධයෙන් භුක්තියේ පදිංචි අයිතිය සඳහා බලය පැවරීමේ ක්‍රමවේදය කවරේද;

(iii) අදාළ විහාරස්ථානයේ/දේවාලයේ හිමිවරුන්ගේ/භාරකරුවන්ගේ අභිමතය පරිදි මෙම ඉඩම් කුලී පදනම, බදු පදනම හෝ සින්නක්‌කර පදනම මත තෙවන පාර්ශ්වයකට පැවරීම/විකිණීම සිදුකළ හැකිද;

(iv) එසේ නම්, ඊට අදාළ පදනම කවරේද;

(v) නොඑසේ නම්, ඊට හේතු කවරේද;

(vi) විකුණන ලද හෝ පවරන ලද ඉහත ඉඩම්වල අයිතිය නැවත අදාළ විහාරස්ථානයට/දේවාලයට පැවරෙන්නේද;

(vii) ඉහත ඉඩම් සම්බන්ධයෙන් ඉදිරියේදී පොදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේද;

(viii) එසේ නම්, එම ප්‍රතිපත්තිය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-11-22

අසන ලද්දේ

ගරු ධර්මප්‍රිය දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2013 අංක 34 දරන බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත, 1931 අංක 19 දරන විහාර දේවාලගම් ආඥා පනත සඳහා ගෙන ආ සංශෝධන පනතකි. මෙම 2013 අංක 34 දරන බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත යටතේ සිද්ධස්ථාන ඉඩම් පිළිබඳ සඳහන් කර නොමැත. නමුත් 1931 අංක 19 දරන විහාර දේවාලගම් ආඥා පනත යටතට ගැනෙන සිද්ධස්ථාන සතු ඉඩම් හා දේපළ විශාල ප්‍රමාණයක් පවතී. එම ඉඩම් දිවයින පුරා පවතින 12,971ක් වන සිද්ධස්ථාන සතුව පවතින අතර, එම ඉඩම් ප්‍රමාණය පිළිබඳ තොරතුරු සිද්ධස්ථාන සඳහා වන විහාරාධිපති ස්වාමීන් වහන්සේලා හා භාරකරුවන් සතු වේ.

(ii) සිද්ධස්ථාන වෙතින් බදු ලබා ගැනීම මඟිනි.

(iii) 1931 අංක 19 දරන විහාර දේවාලගම් ආඥා පනතේ 26 වන වගන්තිය ප්‍රකාරව "යම් සිද්ධස්ථානයකට අයිති නිශ්චල දේපළ උකස් කිරීම, විකිණීම හෝ වෙන අන්දමකින් අන් සන්තක කිරීම නීති ප්‍රකාර වලංගු හෝ බල සහිත නොවේ" යනුවෙන් සඳහන් වේ. එසේ වුවද, උක්ත පනතේ 29(1) වගන්තිය ප්‍රකාරව භාරකරුවෙකුට නොහොත් පාලක විහාරාධිපති භික්ෂුවකට කලින් කල තමා සෑහේය කියා කල්පනා කරන බදු මිලට හෝ පොරොන්දු පිට තමාගේ සිද්ධස්ථානයට අයත් ඉඩම් සියල්ලම හෝ ඉන් යම් කිසිවක් බදු දෙන්නට නීතිය අනුව පුළුවන. ඇත්තටම මේ වැකි මේ විධියට තමයි දැනට පවතින පනතේ ඇතුළත් වෙන්නේ. මෙසේ බදු ලබා ගන්නා ඉඩම් තෙවන පාර්ශ්වයකට අතුරු බදු දීම සම්බන්ධයෙන් පනතේ විධිවිධාන සලසා නොමැත.

(iv) ඉහත (iii)හි සඳහන් ක්‍රමවේද යට‍තේ සිදු කළ හැකිය.

(v) අදාළ නොවේ.

(vi) පනතේ විධිවිධානවලට පරිබාහිර ලෙස ඉඩම් විකිණීම හා පැවරීම සිදු කර ඇත්නම්, ඒවා නීත්‍යනුකූල නොවේ.

(vii) 1931 අංක 19 දරන විහාර දේවාලගම් ආඥා පනතේ විධිවිධාන ප්‍රකාරව ඉදිරි කටයුතු සිදු කරනු ලබයි.

(viii) අදාළ නොවේ.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-11-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙ‍නෙවි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks