01

E   |     |  

 දිනය: 2024-03-21   පිළිතුර ලබා දී ඇත 

1248/2024: පෞද්ගලික අංශයේ ‍සේවක වැටුප් වැඩි කිරීම: ගත් පියවර

1248/2024

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා,— කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ඉහළ යන ජීවන වියදමට සමගාමීව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට ගෙන ඇති පියවර;

             (ii)       තවමත් එවැනි පියවර ගෙන නොමැති නම් ඊට හේතු;

           කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) පවතින ආර්ථික අර්බුදවලදී කාන්තා ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති විශේෂ ක්‍රියාමාර්ග;

(ii) වත්මන් ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා කාන්තාවන් ශ්‍රම බලකායට එක්වීමේ ප්‍රවණතාවක් පවතින බැවින්, කාන්තා ශ්‍රමිකයින්ගේ දරුවන්ට ළමා ආරක්ෂණය, පෝෂණය සහ එවැනි සහාය ලබා දීමට ගෙන ඇති ක්‍රියාමාර්ග;

(iii) විදෙස්ගත ගෘහ සේවිකාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ගෙන ඇති පියවර;

(iv) තවමත් එවැනි පියවරක් ගෙන නොමැති නම් ඊට හේතු;

කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2024-03-21

අසන ලද්දේ

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු හා විදේශ රැකියා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

5 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)       පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළව මේ වන විට පියවර දෙකක් ගෙන ඇත.

                         •    තේ වැවීමේ හා සැකසීමේ කර්මාන්තයට සහ රබර් වැවීමේ හා දළ රබර් සැකසීමේ කර්මාන්තයට අදාළව 2024.05.21වන දින කම්කරු කොමසාරිස් ජනරාල් විසින් පඩිපාලක සභා ආඥාපනතේ 33(1) (B) යටතේ තීරණය කරන ලද රුපියල් 1,700ක දෛනික වැටුප, අමාත්‍යාංශ ලේකම්වරයා විසින් 2024.05.21 දිනැති අංක 2385/4 දරන ගැසට් පත්‍රය මඟින් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව වර්තමානයේ මෙම සේවකයන්ට අදාළ දෛනික වැටුප රුපියල් 1,700ක් වේ.

     •   2016 අංක 3 දරන ජාතික අවම වේතනය පනත යටතේ නියමිත ජාතික අවම මාසික වේතනය රුපියල් 12,500ක හා ජාතික අවම දෛනික වේතනය රුපියල් 500ක සිට ජාතික අවම මාසික වේතනය රුපියල් 17,500 හා ජාතික අවම දෛනික වේතනය රුපියල් 700ක් දක්වා වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන පනත සංශෝධනයට පියවර ගෙන ඇත.

ඒ අනුව මෙකී පනත සංශෝධනය සමඟ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප 2005 අංක 36 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනාව පනත යටතේ ගෙවිය යුතු රුපියල් 1,000ක මුදල සහ 2016 අංක 04 දරන සේවකයන්ගේ අයවැය සහන දීමනාව පනත යටතේ ගෙවිය යුතු රුපියල් 2,500ක මුදල සමඟ රුපියල් 21,000ක් දක්වා වැඩිවීමට නියමිත වේ. 

      (ii)  අවශ්‍ය පියවර ගෙන ඇත.

කෙසේ නමුත් 2024.05.21 දිනැති අංක 2385/4 දරන ගැසට් පත්‍රය මඟින් තේ වැවීමේ හා සැකසීමේ කර්මාන්තයට සහ රබර් වැවීමේ හා දළ රබර් සැකසීමේ කර්මාන්තයට අදාළ සේවකයන්ගේ දෛනික වැටුප රුපියල් 1,700ක් දක්වා වැඩි කිරීමට ගත් තීරණයට එරෙහිව වතු සමාගම් විසින් එම තීරණය සමාලෝචනය කර ගැනීම සඳහා CA (Writ) 329/2024 යටතේ රිට් අයදුම්පතක් ගොනු කිරීමට කටයුතු කරන ලදී.

මෙම රිට් අයදුම්පත පිළිබඳ 2024.06.03 දින support කිරීමට කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කිරීමට කටයුතු කළද, ප්‍රශ්නගත ගැසට් පත්‍රය බල රහිත කිරීමට හෝ ක්‍රියාත්මක කිරීම නැවැත්වීමට හෝ අතුරු තහනම් නියෝගයක් ලබා දීමට ගරු අභියාචනාධිකරණය විසින් කටයුතු නොකරන ලදී. ඒ අනුව 2024.05.21 දින තේ වැවීමේ හා සැකසීමේ කර්මාන්තයට සහ රබර් වැවීමේ හා දළ රබර් සැකසීමේ කර්මාන්තයට අදාළව නිකුත් කරන ලද ගැසට් නිවේදනය මේ වන විට බලාත්මකව පවතින අතර, එබැවින් සේවායෝජකයන් මෙම වැඩි වූ දෛනික වැටුප ගෙවීමට බැඳී සිටී.

(ආ) (i) කාන්තා ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුව විසින් ප්‍රධාන පනත් වශයෙන් පනත් 04ක් ක්‍රියාත්මක කරනු ලබයි. 

           •  1954 අංක 19 දරන සාප්පු සහ කාර්යාලීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) ආඥාපනත.

•  1939 අංක 32 දරන සූතිකාධාර ආඥාපනත.

• 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමේ පනත.

    •   1942 අංක 45 දරන කර්මාන්තශාලා ආඥාපනත.

1954 අංක 19 දරන සාප්පු සහ කාර්යාලීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) ආඥාපනතේ ප්‍රතිපාදන අනුව ඕනෑම කාන්තාවක් සේවයේ යෙදවිය හැකි වන්නේ, පැයක විවේක කාලය ද ඇතුළත්ව පැය 09ක සේවා කාලයක් පමණි.

එසේම සාප්පු සහ කාර්යාලීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) ආඥාපනත යටතේ පූර්ව භාග 6ට ප්‍රථමයෙන් හෝ අපර භාග 8න් පසුව සේවයේ යෙදවිය හැකි වන්නේ හෝටලයක හෝ භෝජනාගාරයක හෝ නේවාසික හෝටලයක පමණක් වන අතර ඒ සඳහා ද අවසර ඇත්තේ වයස අවුරුදු 18ට පැමිණි කාන්තාවන්ට පමණි. තවද, සාප්පු සහ කාර්යාලීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) ආඥාපනතේ 10(1) වගන්තිය මඟින් ස්ත්‍රීන් හා වයස අවුරුදු 18ට අඩු පුද්ගලයන් සේවයේ යෙදවීම සම්බන්ධව වැඩිදුරටත් විධිවිධාන පනවා ඇත.

සූතිකාධාර ආඥාපනත අනුව ගැබ් ගැනීම හෝ ප්‍රසව අවස්ථාවේ ප්‍රතිඵලයක් වශයෙන් සෑදෙන යම් අසනීපයක් හේතුවෙන් පමණක් කාන්තාවකගේ සේවය අවසන් නොකළ යුතු බවටත්, ප්‍රසූත නිවාඩු ලබා සිටින අවස්ථාවක සේවයෙන් ඉවත් කිරීමේ දැන්වීමක් භාර නොදිය යුතු බවටත් ප්‍රතිපාදන පවතී.

ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමේ පනත යටතේ කාන්තාවක් රාත්‍රි සේවයේ යෙදවීමට පෙර එම කාන්තාවගේ කැමැත්ත ලබා තිබිය යුතු අතර, කම්කරු කොමසාරිස්වරයාගේ ලිඛිත අවසරයද ලබා තිබිය යුතු වේ. එක් මාසයක් තුළදී කිසිම කාන්තාවක් දින 10ට වඩා රාත්‍රි සේවයේ නියුක්ත නොකරනු ලැබිය යුතු බවට ද එහි සඳහන් වේ.

සාප්පු සහ කාර්යාලීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) ආඥාපනතට අදාළව කාන්තාවන් රාත්‍රි සේවයේ යෙදවීම සම්බන්ධයෙන් සංශෝධනයන් ගෙන ඒමට 2024 අංක 28 දරන සාප්පු හා කාර්යාලීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) (සංශෝධන) පනත මඟින් පියවර ගෙන ඇත. එමඟින් සාප්පු සහ කාර්යාලීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) ආඥාපනතේ 10වන වගන්තිය සඳහා උප වගන්තියක් හඳුන්වා දී තොරතුරු තාක්ෂණය හා දැනුම හෝ ව්‍යාපාර ක්‍රියාවලීන් බාහිරින් යොදවා ගැනීම - outsourcing -, පරිපාලන කටයුතු, ගණකාධිකාරි වැනි අදාළ කාර්යයන් සඳහා වන ව්‍යාපාරයක පිටරට පිහිටුවා ඇති ආයතනයක කාර්යාලයන්ට අදාළ කටයුතු සඳහා පෙර වරු 6ට පෙර හා පස් වරු 6ට පසු වයස අවුරුදු 18ට එළැඹි කාන්තාවන් සේවයේ යොදවා ගැනීම සඳහා අවසර ලබා දීමට පියවර ගෙන ඇත. එනම් වර්තමානයට ගැළපෙන අයුරින් පනත සංශෝධනය කරමින් කාන්තාවන් සඳහා සම අයිතිවාසිකම් ලබා දීම සඳහා අවස්ථාව සලසා ඇත.

එලෙසම එම පනතෙහිම සාප්පු සහ කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) (සංශෝධන) පනතේ 66වන වගන්තියට උප වගන්තියක් හඳුන්වා දෙමින් පස් වරු 10න් පසු හා පෙර වරු 6ට පෙර සේවාවේ යොදවනු ලබන කාන්තාවන් සඳහා ආරක්ෂාව, ප්‍රවාහන පහසුකම් සහ විවේක ගැනීම සඳහා පහසුකම් ලබා දිය යුතු බවට ද දක්වා ඇත.

තවද, මීට අමතරව දැනට ක්‍රියාත්මක වන ප්‍රධාන පනත් වන සාප්පු සහ කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) පනත, පඩිපාලක සභා ආඥාපනත, ස්ත්‍රීන්, තරුණ අය හා ළමයින් සේවයේ යෙදවීමේ පනත, කර්මාන්තශාලා ආඥාපනත ඇතුළුව පනත් 13ක සඳහන් නීතිමය මූලධර්ම ද ඇතුළත්ව නව රැකියා පනතක් ගෙන ඒමට අවශ්‍ය පියවර ගනිමින් ඇත. විශේෂයෙන්ම කාන්තා සේවකයන්ට අදාළව වැඩපළ තුළ ලිංගික හිංසනය වැළැක්වීම සහ ගෘහ සේවයේ නියුතු කාන්තාවන්ගේ කම්කරු අයිතිවාසිකම් සම්බන්ධව එහිදී අවධානය යොමු කර ඇත.

මීට අමතරව දැනට පවතින කාන්තාවන්ට අතිකාල සේවයේ සහ රාත්‍රි සේවයේ නිරතවීමට පවතින බාධා ඉවත් කිරීම. අර්ධකාලීන - part time - රැකියාවල නියුතුවීමට අවශ්‍ය ප්‍රතිපාදන ගෙන ඒම මෙන්ම නිවසේ සිට වැඩ කිරීමට අදාළ නෛතික ප්‍රතිපාදන ද මෙම නව නීතිය යටතේ හඳුන්වා දීමට නියමිතය.

      (ii) කම්කරු දෙපාර්තමේන්තුවේ විෂය පථයට අයත් නොවන කාරණා බැවින් ඒ පිළිබඳව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයෙන් විමසීම සුදුසු බව සඳහන් කරනු කැමැත්තෙමි.

     (iii) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියාවක් සඳහා විදේශගත වන කාන්තා ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පහත සඳහන් ක්‍රමවේද සුරක්ෂිත කර ඇත.

01. මැද පෙරදිග කලාපයේ ගෘහස්ථ අංශයේ රැකියාවක් සඳහා විදේශ ගත වන කාන්තාවන්ගේ සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා විදේශ රක්ෂණාවරණය ක්‍රියාත්මක කිරීම හා සෙසු කාන්තා ශ්‍රමිකයන්ගේ සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා දේශීය රක්ෂණාවරණය මඟින් රැකවරණය සැලසීම.

02. විදේශ රැකියාවෙහි නිරතව සිටියදී කාන්තා ශ්‍රමිකයන් මුහුණ දෙන ගැටලු සඳහා විසඳුම් ලබා දීමට විදේශ දූත මණ්ඩල කාර්යාලවල කම්කරු හා සුබසාධන අංශයන්හි සේවයෙහි නියුතු නිලධාරින් මැදිහත් වීම.

03. විදේශ රැකියාවෙහි නිරතව සිටියදී ගැටලුවලට මුහුණ දෙන කාන්තා ශ්‍රමිකයන් හට රැකවරණය සැලසීම සඳහා දූත මණ්ඩල කාර්යාලවල සුරක්ෂා නිවාස පවත්වාගෙන යාම.

04. ගෘහ සේවය සඳහා යන කාන්තාවන්ට විදේශ ගතවීමට පෙර පුහුණුවක් ලබා දීම.

05. විදෙස්ගත වීමට පෙර දරුවන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර ඇති සංවර්ධන නිලධාරින් හරහා පවුල් පසුබිම් වාර්තා ලබා ගැනීම.

06. අවුරුදු 02ට අඩු දරුවන් ඇති කාන්තාවන් විදෙස්ගත නොකිරීම.

07. විදෙස්ගත වීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වන අවස්ථාවේදී පවුලේ සාමාජිකයන් වෙනුවෙන් වියළි ආහාර ලබා ගැනීම සඳහා රුපියල් 10,000ක සතොස වවුචර්පත් ලබා දීම.

08. විදෙස්ගත වන දෙමව්පියන්ගේ දූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබා දීම, පාසල් උපකරණ ලබා දීම.

09. විදෙස්ගතව පූර්ණ ආබාධිත තත්ත්වයට පත්ව ලංකාවට පැමි‍ණෙන ශ්‍රමිකයන් සඳහා නිවාස ඉදිකර දීම.

10. විදෙස්ගත කාන්තාවන්ගේ දූ දරුවන්ගේ විශේෂ දක්ෂතා ඇගැයීමට මූල්‍යමය දායකත්වය ලබා දීම.

11. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශගතව සිටින විට හෝ ලංකාවට පැමිණි පසු විදේශ රක්ෂණාවරණය මඟින් රක්ෂණ ප්‍රතිලාභ ලබා දීම.

12. විදේශගතව සිටියදී කාන්තාවන්ට සිදුවන හිරිහැර, අතවර සම්බන්ධව අදාළ රටෙහි ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලයේ රැකීරක්ෂා හා සුබසාධන අංශයේ නිලධාරින්ගේ නිරන්තර සොයාබැලීම් සිදුකර ගැටලු නිරාකරණය කිරීම.

13. රක්ෂණාවරණ මඟින් කාලය ඉකුත් වී ඇති බැවින් ප්‍රතිලාභ ලබා දිය නොහැකි අවස්ථාවල කාර්යාංශයේ සේවක සුබසාධන අරමුදල මඟින් ප්‍රතිලාභ ලබා දීම.

14. විදේශගත කාන්තාවන් ලංකාවට පැමිණ හෝ සිටියදී පවුලේ සාමාජිකයන් විසින් ඉදිරිපත් කරන පැමිණිලි සමථයකට පත් කිරීම සඳහා කාර්යාංශයේ සමථ අංශය මඟින් කටයුතු කිරීම.

15. කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ගැටලු විසඳා ගැනීම සඳහා විගමනික සංගම් පිහිටුවා ගැනීම.

16. “මනුසවි” බහුවිධ ණය යෝජනා ක්‍රමය

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියාවක් සඳහා විදේශගතව සිටින ශ්‍රමිකයන් හට රුපියල් 2,000,000ක ණය මුදලක් කාර්යාංශයේ නිර්දේශය මත සියයට 8ක පොලියට ලබා දීම.

17. විදේශ රැකියාවක නිරතව සිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩිම වාර ගණනක් ලියාපදිංචි වී ඇති ශ්‍රමිකයන් හට සතොස වවුචර්පත් ලබා දීම.

ලියාපදිංචි වාර ගණන

වවුචර් පතෙහි වටිනාකම

06

  7,500

07

12,500

08 හා 09

20,000

10 හෝ 10ට වැඩි

25,000

18. නිවාස ණය ලබා දීම.

කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශගතව සිටින ශ්‍රමිකයන්හට නිවාස සිහිනය සැබෑ කර ගැනීම සඳහා රුපියල් මිලියන 10ක් දක්වා නිවාස ණය ලබා ගැනීමේ හැකියාව පවතින අතර අදාළ පොලී මුදලින් කොටසක් කාර්යාංශය මඟින් ප්‍රතිපූරණය කිරීම.

19. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියාවක නියුතු ශ්‍රමිකයන්ගේ කලත්‍රයාහට දිවිමඟ සාර්ථක කිරීමේ අරමුණින් ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට රුපියල් 100,000ක් දක්වා ආධාර සැපයීම.

20. විදේශ රැකියාවක නිරතව සිට මෙරටට පැමිණි විදේශ ශ්‍රමිකයන්ට ස්වයං රැකියා ආරම්භ කිරීමට රුපියල් 100,000ක් දක්වා ආධාර සැපයීම.

21. විදේශ රැකියාවෙහි යෙදී සිට මෙරටට  පැමිණි ශ්‍රමිකයන්ට ව්‍යවසායකයන් බවට පත් කිරීම සඳහා කාර්යාංශයෙහි මූල්‍ය අනුග්‍රහය ලබා දීම.

22. විදේශ රැකියාවෙහි නිරතව සිටින ශ්‍රමිකයන්ගේ  විශ්‍රාම දිවිය සාර්ථක කර ගැනීම සඳහා මනුසවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම.

    (iv) අදාළ නොවේ.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2024-06-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks