පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-09-09
අසන ලද්දේ
ගරු ගාමිණී වලේබොඩ මහතා, පා.ම.
අමාත්‍යාංශය
කම්කරු හා විදේශ රැකියා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) 2022.07.31 දිනට ලියාපදිංචි වෘත්තීය සමිති සංඛ්‍යාව 2,005කි.
(ii) විස්තර ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත*කරමි.
(iii) ඔව්.
ජාත්‍යන්තර වශයෙන් වෘත්තීය සමිති ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අදාළ සම්මුති හා ජාත්‍යන්තර සම්මත හඳුන්වා දීම පිළිබඳ ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කරනු ලබන්නේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසිනි.
නමුත්, ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් සිය ජාත්‍යන්තර සම්මුති තුළින් හෝ වෙනත් ක්‍රමවේද තුළින් වෘත්තීය සමිති ක්‍රියාකාරකම් පිළිබඳව හෝ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් පිළිබඳ පැහැදිලි නිර්වචනයක් ඉදිරිපත් කර නොමැත.
කෙසේ වුවත්, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 87වන සම්මුතිය ලෙස සැලකෙන සමාගමයේ නිදහස හා සංවිධානය වීමේ නිදහස පිළිබඳ සම්මුතියේ - Freedom of Association and Protection of the Right to Organize Convention - 3වන වගන්තිය මඟින් රටක රජයක් වෘත්තීය සමිති පිළිබඳ දරනු ලබන වගකීම පිළිබඳව නිශ්චිත නොවන නමුත්, යම් අදහසක් දක්වා ඇත.
එමෙන්ම, එම වගන්තිය තුළ වෘත්තීය සමිතියේ ක්‍රියාකාරකම් පිළිබඳව දක්වා තිබුණද, එහි වැඩ වර්ජන හෝ උද්ඝෝෂණ හා විරෝධතා සම්බන්ධයෙන් ඍජු අදහසක් දක්වා නොමැති අතර, එහි දක්වා ඇති පරිදි, රජයක් විසින් වෘත්තීය සමිතිවලට තම ක්‍රියාකාරකම් කිරීම පිළිබඳ අයිතියට බාධාවක් නොවන ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව දක්වා ඇත. එමෙන්ම, වෘත්තීය සමිතියක් විසින්ද තම ක්‍රියාකාරකම් රටේ නීතිමය රාමුව තුළ සිදු කළ යුතු බවත් එහි දක්වා තිබේ.
මෙම C87 සම්මුතිය ශ්‍රී ලංකාව විසින් 1995 වර්ෂයේදී අපරානුමත - ratify - කර ඇත.
ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් වෘත්තීය සමිති ක්‍රියාකාරකම් ලෙස සැලකෙන වැඩ වර්ජන හා උද්ඝෝෂණ පිළිබඳ නිශ්චිත නිර්වචනයක් මේ දක්වා ඉදිරිපත් කර නොමැත. එහි සම්මත කර ඇති වෙනත් සම්මුති හා ජාත්‍යන්තර සම්මතවලට අනුවද වැඩ වර්ජන හෝ උද්ඝෝෂණ කිරීම වෘත්තීය සමිතියක පරම අයිතිවාසිකමක් ලෙස සැලකීමක් සිදුකොට නොමැති අතර, වැඩ වර්ජන හා උද්ඝෝෂණ කිරීමේ අයිතිය රටේ බලපැවැත්වෙන වෙනත් නීති මඟින් දක්වා ඇති පරිදි සීමාකාරී විය හැකිය.
ශ්‍රී ලංකාවේ දැනට බලපැවැත්වෙන නීතිමය තත්ත්වය සැලකූ විට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා වෘත්තීය සමිතියක් ආරම්භ කිරීම හා එහි සාමාජිකයකු බවට පත්වීම මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන ඇත.
වෘත්තීය සමිති ආඥාපනතේ 26 හා 27 වගන්ති තුළින් වෘත්තීය සමිතියක සාමාජිකයකුට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස උද්ඝෝෂණ හා වැඩ වර්ජන කිරීම පිළිබඳ මුක්තිය ලබා දී ඇත. කාර්මික ආරාවුල් පනත මඟින් වැඩ වර්ජන පිළිබඳ අර්ථකථනය කිරීමේදී වෘත්තීය සමිති ආඥාපනතේ ඇති නිර්වචනයට සමාන නිර්වචනයක් සඳහන් වේ. එමෙන්ම, කාර්මික ආරාවුල් පනතේ 32(2) වගන්ති ප්‍රකාරව, ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශ කර ඇති අත්‍යවශ්‍ය කර්මාන්තයක යෙදෙන වෘත්තීය සමිතියක් වැඩ වර්ජනයක නියැළීමට නම් පනතේ සඳහන් කර ඇති ආකාරයට අවම දින 21කට පෙර ලිඛිතව දැන්විය යුතු බව ද දැක්වේ.
වෙනත් විදේශ රටවල් සම්බන්ධයෙන් සැලකූ විට වෘත්තීය සමිති විසින් සිදු කරනු ලබන වැඩ වර්ජන සඳහා නියාමන ක්‍රමවේදයක් පවතී. එක්සත් රාජධානිය, මැලේසියාව හා බංග්ලාදේශයේ වෘත්තීය සමිතියක් විසින් වෘත්තීය ක්‍රියා මාර්ග හා වැඩ වර්ජන කැඳවීමට අවශ්‍ය නම් ඒ සඳහා වෘත්තීය සමිතියේ සාමාජිකයන්ගේ ඡන්දය විමසීමේ ක්‍රමවේදයක් - a ballot system - පවතී.
ඒ අනුව මැලේසියාවේ හා බංග්ලාදේශයේ වැඩ වර්ජනයක් කැඳවන වෘත්තීය සමිතිය සිය සාමාජිකයන්ට ඒ බව දන්වා ඡන්දය විමසීමක් සිදු කර එම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට සිය සාමාජිකයන්ගෙන් 2/3ක බහුතර අනුමැතියක් ලබාගත යුතුය. එමෙන්ම, එක්සත් රාජධානියේ මෙම තත්ත්වය තවදුරටත් ඔබ්බට යමින් ඡන්ද විමසීමේදී සමස්ත ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සමස්ත සාමාජිකත්වයෙන් සියයට 50ක් ඉක්මවීම අවශ්‍ය වන අතර, ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය සියයට 50 ඉක්මවා ඇත්නම් පමණක් සරල බහුතරයේ කැමැත්ත මත වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට වෘත්තීය සමිතියට අවශ්‍ය නීතිමය අවකාශය සැලසේ.
(iv) වෘත්තීය සමිති මර්දනය කිරීමට හෝ එහි ක්‍රියාකාරකම් රජය මඟින් නියාමනයට ලක් කිරීම පිළිබඳ රජයට කිසිදු බලාපොරොත්තුවක් නැතත්, විවිධ පාර්ශ්වවලින් වෘත්තීය සමිතිවලින් කැඳවනු ලබන අත්තනෝමතික වැඩ වර්ජන හා වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මහජනතාව නිරන්තරයෙන් පීඩාවට ලක්වන බවට පැමිණිලි පවතින බැවින්, මේ පිළිබඳව සෑම පාර්ශ්වයකටම එකඟ විය හැකි ආකාරයට හා රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බාධාවක් නොවන ලෙස ඉදිරියේදී මහජනතාව පීඩාවට පත්වන ආකාරයේ අත්තනෝමතික වෘත්තීය ක්‍රියාමාර්ග යම් සීමාවකට ලක් කිරීම පිළිබඳව කාලීන අවශ්‍යතාවක් ද පවතින හෙයින්, ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නාවූ ක්‍රමවේද සහ වෙනත් රටවල සාර්ථක අත්දැකීම් පිළිබඳ විධිමත් අධ්‍යයනයක් සිදු කිරීමෙන් අනතුරුව වෘත්තීය සමිති, සේවා යෝජකයන් හා මේ සම්බන්ධයෙන් වගකීම් දරනු ලබන රජයේ සියලු පාර්ශ්වවල සාකච්ඡාවකින් අනතුරුව ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ සලකා බැලෙනු ඇත.
එමෙන්ම, එලෙස රජය විසින් වෘත්තීය ක්‍රියා මාර්ග හා වෘත්තීය සමිති ක්‍රියාකාරකම් නියාමනයට ලක් කිරීම පිළිබඳව තවදුරටත් ප්‍රමාද කරනුයේ වෘත්තීය සමිතිවලට සිය වෘත්තීය ක්‍රියා මාර්ග ගැනීම පිළිබඳව වන අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ සමාගමයේ නිදහස හා වෙනත් වෘත්තීය අයිතීන් හිමිකම් ආරක්ෂා කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් ලෙස සලකන හෙයින් වන අතර, රජය තවදුරටත් යම් වෘත්තීය ගැටලුවකදී සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීම පිළිබඳව දක්වන උනන්දුව සහ රුචිකත්වය නිසාවෙන් සියලු වෘත්තීය සමිති විසින් ද ඔවුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාකාරකම් සිදු කිරීමේදී තවදුරටත් වගකීම්සහගත වෙමින් මහජනතාවට පීඩාකාරී නොවන ලෙස තම වෘත්තීය අයිතීන් දිනාගැනීමට කටයුතු කරනු ඇතැයි උදෙක්ම බලාපොරොත්තු වේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2022-10-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජගත් පුෂ්පකුමාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks