පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
415/2020
ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ළමා හා තරුණ තැනැත්තන් පිළිබඳ ආඥාපනතට අදාළව තීන්දු ලබාදීමට නියමිත නඩු සංඛ්‍යාව කොපමණද;
(ii) බාල අපරාධ සම්බන්ධ වැරදිකරුවන්ට සහ ළමා ආරක්ෂාවට අදාළ නඩු සංඛ්‍යාව කොපමණද;
(iii) පැමිණිල්ල සිදුකළ අවස්ථාවේ සිට නඩුව විසඳා අවසන් වීම දක්වා ගතවන සාමාන්‍ය කාල සීමාව කොපමණද;
(iv) ප්‍රමාදයන් සඳහා හේතු, ප්‍රමාදයන් සිදුවන්නේ කුමන අවස්ථාවන්වලදී ද සහ නඩු ඇසීම වේගවත් කිරීමට ගෙන ඇති පියවර කවරේද;
(v) ළමයින් උසාවි වෙත ප්‍රවාහනය කිරීමට සකසා ඇති වැඩපිළිවෙළ කුමක්ද;
(vi) උසාවිය තුළදී ළමයින්ගේ ආරක්ෂාව සහ යහපත සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) 2015 සිට 2020 දක්වා කාලය තුළ බාල අපරාධ සම්බන්ධ වැරදිකරුවන් සම්බන්ධයෙන්;—
(i) අවසන් කළ නඩු ප්‍රමාණය කොපමණද;
(ii) පැමිණිල්ල වාර්තා වූ අවස්ථාවේ සිට චෝදනා ගොනුකිරීම සහ චෝදනා ඉදිරිපත් කර නඩුව අවසානය දක්වා ගතවන කාල සීමාව කොපමණද;
(iii) චෝදනාවලට වැරදිකරුවන් වූ, නිදොස් කොට නිදහස් කරනු ලැබූ සහ මුදාහරිනු ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-11-05
අසන ලද්දේ
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට ලද ළමා හා යෞවන ආඥා පනතේ භාරය හා ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින නඩු සංඛ්‍යාව 288කි. (2015.01.01 සිට 2020.09.30 දක්වා.)
(ii) ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට ලද බාල වයස්කාර ළමයින්ට එරෙහිව සිදු කරන ලද අපරාධ සංඛ්‍යා ලේඛන අනුව,
1. මහේස්ත්‍රාත් අධිකරණවල විභාග හා කැඳවීම් තත්ත්වයේ පවතින නඩු සංඛ්‍යාව 493කි.
2. මහාධිකරණවල විභාග හා කැඳවීම් තත්ත්වයේ පවතින නඩු සංඛ්‍යාව 174කි.
(iii) පැමිණිල්ල සිදුකළ අවස්ථාවේ සිට නඩුව විසඳා අවසන් වීම දක්වා ගතවන කාලය නඩුවෙන් නඩුවට වෙනස් වේ. ඒ අනුව, නඩුව විසඳා අවසන් වන තෙක් ගතවන කාල සීමාව නිශ්චිත වශයෙන් සඳහන් කළ නොහැක.
පැමිණිල්ල ලද විගස විමර්ශන කටයුතු ආරම්භ කරනු ලබන අතර, විමර්ශනයට සමගාමීව සාක්ෂි ලබා ගැනීම සිදු කරයි.
විශේෂඥ සාක්ෂි
වෛද්‍යමය සාක්ෂි සම්බන්ධ වාර්තා
වෛද්‍ය වාර්තා
දුරකථන විශ්ලේෂණ වාර්තා
රස පරීක්ෂක වාර්තා
උක්ත වාර්තා ලබා ගැනීමට ගතවන කාලය අනුව, නඩුව විසඳා අවසන්වීමේ කාලය තීරණය වේ. විශේෂයෙන්ම සැකකරුට විරුද්ධව ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා විමර්ශන සටහන් අඩංගු අපරාධයට අදාළ උද්ධෘත ගොනු ගරු නීතිපතිතුමා වෙත යොමු කරන අතර, නඩු කටයුතු ආරම්භ කිරීම සහ අවසන් කිරීම සම්බන්ධයෙන් දැනට පවතින නිර්ණායක ඇතුළත නිශ්චිත කාල සීමාවක් සඳහන් කිරීමට නොහැකිය. ඒ, නඩුවෙන් නඩුවට කරුණු වෙනස් වන නිසා.
(iv) ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මන්ත්‍රීතුමිය විසින් අසනු ලබන මෙම ප්‍රශ්නයේ කොටස් තුනක් තිබෙනවා. ප්‍රමාදය සඳහා හේතු, ප්‍රමාද සිදු වන්නේ කුමන අවස්ථාවලදීද සහ නඩු ඇසීම වේගවත් කිරීමට ගන්නා පියවර වශයෙන්.
ප්‍රමාදය සඳහා පහත සඳහන් හේතු ප්‍රධාන වශයෙන් අප හඳුනා ගෙන තිබෙනවා.
1. මේ වන විට ලංකාව තුළ තිබෙන්නා වූ අධිකරණ පද්ධතියේ මහාධිකරණ සංඛ්‍යාව අවම ප්‍රමාණයක් ගනී. මෙහිදී අධිචෝදනා ගොනු කරනු ලබන සියලු ළමා ආරක්ෂාව සම්බන්ධ නඩු විභාග කළ යුත්තේ මහාධිකරණ විනිසුරුවන් අභියසය. ඒක අනිවාර්ය අවශ්‍යතාවක්. ළමා මහාධිකරණ ලෙස ක්‍රියාත්මක වන්නේ සාමාන්‍ය මහාධිකරණ වන අතර, රට තුළ පවතින්නා වූ මහාධිකරණ නඩු සංඛ්‍යාව අනුව ළමා නඩු සම්බන්ධ ප්‍රමුඛතාව දුන් නමුත්, විභාග කිරීමට යම් කාලයක් ගතවේ.
2. ළමා අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී කිසියම් කාලයක් ගතවීම සිදුවේ. එසේම නීතිපති උපදෙස් අනුව නඩු ගොනු කිරීම සහ සම්පූර්ණ ගොනු ඉදිරිපත් කිරීම සඳහා ද කාලයක් ගතවේ. එසේම සාක්ෂිකරුවන් ඉදිරිපත් කිරීම හා සැකකරුවන් අධිකරණය ඉදිරියේ පෙනී සිටීම වැනි කටයුතු සඳහා ද කාලය ගතවීමක් සිදුවේ. අදාළ ළමා නඩුව අඛණ්ඩව -එක දිගට දීර්ඝව- විභාග නොවන බැවින් මෙකී අපහසුතාවට නඩුවට සම්බන්ධ සියලු පාර්ශ්ව මැදිහත් වේ.
3. උසාවි ප්‍රමාණවත් නොවීම.
4. උසාවිවල කාර්යය මණ්ඩලය ප්‍රමාණවත් නොවීම.
5. නීතිපති දෙපාර්තමේන්තුවේ ළමා අංශයේ කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවීම.
6. පොලිස් විමර්ශනවල අඩුපාඩු.
ප්‍රමාද සිදුවන අවස්ථා
1. නීතිපති උපදෙස් ලබා ගන්නා අවස්ථාවල.
2. වින්දිත සාක්ෂිකරුවන් නඩුවලට ගෙන්වා ගැනීමට ඇති අපහසුතා.
i. වින්දිත ළමයා ලබා දී ඇති පළමු ලිපිනයේ නැවත නොසිටීම.
ii. වයස 18න් පසු වින්දිත දරුවන් ළමා නිවාසවලින් බැහැර යෑම.
iii. වින්දිත ළමයින් විවාහ වීමෙන් පසු හෝ සාක්ෂි ලබා දීමට මැළිවීමේ අවස්ථා.
නඩු ඇසීම වේගවත් කිරීමට ගෙන ඇති පියවර
ගරු මන්ත්‍රීතුමියනි, මේ සම්බන්ධයෙන් අපි පියවර රාශියක් අරගෙන තිබෙනවා.
1. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මඟින් පළාත් 09 සඳහා ළමා මහාධිකරණ 09ක් පිහිටුවීමට යෝජනා කර ඇත. (දැනට අනුරාධපුරයේ ළමා මහාධිකරණයක් ක්‍රියාත්මක වෙමින් පවතී.)
2. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මඟින් පළාත් 07 සඳහා ළමා මහෙස්ත්‍රාත් අධිකරණ 07ක් පිහිටුවීමට යෝජනා කර ඇත. (ළමා මහෙස්ත්‍රාත් අධිකරණ 02ක් බත්තරමුල්ල සහ යාපනය යන ස්ථානයන්හි දැනට ක්‍රියාත්මක වෙමින් පවතී.)
3. ළමයින් සම්බන්ධව වීඩියෝ සාක්ෂි පටිගත කිරීම සඳහා වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකක 09ක් පළාත්බදව පිහිටුවීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කටයුතු සිදු කරමින් පවතී. (දැනට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ එක් වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකකයක් පමණක් ක්‍රියාත්මක වේ. රාගම සහ කරාපිටිය වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ ඒකක 02ක නිලධාරින් බඳවා ගැනීමට අදාළ අනුමැතිය සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.)
4. නීතිපති දෙපාර්තමේන්තුව මඟින් ළමා ආරක්ෂාව පිළිබඳ නඩු සම්බන්ධයෙන් කටයුතු කිරීමට ළමා අපයෝජන අංශය නමින් විශේෂ ඒකකයක් පිහිටුවා ගොනු සම්බන්ධව කටයුතු කිරීම ආරම්භ කර ඇත.
5. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ළමා අපයෝජන සම්බන්ධ නඩු කටයුතු නියාමනය සඳහා අවශ්‍ය සම්බන්ධීකරණයන් හා දත්ත පද්ධති පවත්වාගෙන යෑම ආරම්භ කර ඇත.
6. නීතිපති දෙපාර්තමේන්තුව වෙත ගොනු ඉදිරිපත් කිරීමේදී අදාළ උද්ධෘත වඩාත් පැහැදිලිව පරිගණක ආශ්‍රිත යතුරුලියනය කර ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම.
(v) ළමා උසාවි වෙත ප්‍රවාහනය කිරීමට සකසා ඇති වැඩ පිළිවෙළ
1. ළමා අපයෝජන සිද්ධි සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මඟින් සිදු කරනු ලබන විමර්ශනවලදී අදාළ වින්දිත ළමයින් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේදී අධිකාරියේ ප්‍රවාහන පහසුකම් මත ප්‍රවාහනය කිරීම සිදු කරයි. මෙහිදී කාන්තා පොලිස් නිලධාරිනියකගේ සහාය ලබා ගැනීම අනිවාර්යය වේ.
2. ළමා බාලක යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේදී සැකකාර ළමයින් නඩු කටයුතු සඳහා ප්‍රවාහනය කිරීමේ වගකීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව දරනු ලබයි.
3. ළමා හිතකාමි පොලිස් විමර්ශන මාර්ගෝපදේශයක් සෑදීම සඳහා විද්වත් මණ්ඩලයක් පත් කර ඇති අතර, එය කෙටුම්පත් කර මාර්තු 31වන දිනට පෙර අධිකරණ අමාත්‍යාංශය වෙත ලබා දීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කටයුතු කර ඇත.
(vi) උසාවිය තුළදී දරුවන්ගේ ආරක්ෂාව සහ යහපත සම්බන්ධයෙන් ගෙන ඇති පියවර
1. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මඟින් 1999 අංක 32 දරණ සාක්ෂි (විශේෂ විධිවිධාන) පනත ප්‍රකාරව වීඩියෝ සාක්ෂි පටිගත කිරීම මඟින් ළමා ද්විතීයික වින්දිතභාවයට පත්කිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර හඳුන්වා දී ඇත.
2. ළමා අපයෝජන සම්බන්ධව අදාළ ළමයින් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේදී මහෙස්ත්‍රාත්වරයාගේ නිල මැදිරිය වෙත වින්දිත ළමයින් ඉදිරිපත් කිරීමෙන් ළමයාට සිදුවන අපහසුතා මඟ හැරීමට කටයුතු කිරීම.
3. ළමා හිතකාමි අධිකරණ ක්‍රියාදාම මාර්ගෝපදේශයක් සෑදීම සඳහා විද්වත් මණ්ඩලයක් පත් කර ඇති අතර, එය කෙටුම්පත් කර මාර්තු 31වන දිනට පෙර අධිකරණ අමාත්‍යාංශය වෙත ලබා දීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කටයුතු කර ඇත.
(ආ) (i) 2002 වර්ෂයේ සිට වාර්තා වූ ළමයින්ට සිදුකරන ලද අපරාධවලට සම්බන්ධව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මඟින් ගොනු කරන ලද නඩු ප්‍රමාණය මත පදනම්ව 2015 සිට 2020 කාලය අතරතුර අවසන් කරන ලද නඩු ප්‍රමාණය 60කි.
(ii) මෙහිදී බහු ආංශික ආයතනික ප්‍රවේශයක් මත අධිකරණ ක්‍රියාවලිය සඳහා මැදිහත්කරණය සිදුවන බැවින් නිශ්චිත කාලයක් සඳහන් කළ නොහැක.
(iii) 2002 වර්ෂයේ සිට වාර්තා වූ ළමයින්ට සිදුකරන ලද අපරාධවලට සම්බන්ධව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මඟින් ගොනු කරන ලද නඩු ප්‍රමාණය මත පදනම්ව 2015 සිට 2020 කාලය අතරතුර චෝදනාවලට සැකකරුවන්ව නිදොස් කොට නිදහස් කරනු ලැබූ සහ මුදාහරිනු ලැබූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 2015 සිට 2020 දක්වා කාල වකවානුව තුළ 08දෙනෙකි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-01-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks