01

E   |     |  

 දිනය: 2019-08-23   පිළිතුර ලබා දී ඇත 

1028/2019: 2016 අය වැය යෝජනා අංක 294 සහ 295: කොළඹ කොටස් වෙළෙඳ පොළේ කටයුතු

1028/’19

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      2016 දී ඉදිරිපත් කරන ලද අයවැය යෝජනා අංක 294 සහ 295ට අනුව, කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ඩොලර් ලැයිස්තුගත වීම සඳහා විදේශීය සමාගම් උනන්දු කරවීමට අනුගමනය කළ ක්‍රියාමාර්ග කවරේද;

(ii) යෝජනා අංක 295ට අනුව ‍කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 28 සිට 50 දක්වා ඉහළ නංවනු ලැබුවේද;

(iii) අග්‍රාමාත්‍යවරයා විසින් කිහිපවිටක ප්‍රකාශ කළ පරිදි, “ප්‍රාග්ධන ලාභ බද්ද” හඳුන්වා දී ක්‍රියාත්මක කිරීමට අදහස් කරන්නේද;

 (iv) 2015 වර්ෂයේදී ක්‍රියාත්මක කළ සුපිරි වාසි බද්ද, කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට ඉමහත් බාධාවක් වූ බව පිළිගන්නේද;

(v) අතීතයට බලපාන ලෙස බදු පැනවීමට අදහස් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2019-08-23

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)         කොළඹ කොටස් වෙළෙඳ පොළේ ඩොලර් වටිනාකම් සහිත සුරැකුම්පත් ලැයිස්තුගත කිරීම සඳහා විදේශීය සමාගම් ආකර්ෂණය කර ගැනීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද බහු මුදල් පුවරුව 2019 මාර්තු මාසයේදී කොළඹ කොටස් වෙළෙඳ පොළ හරහා දියත් කරන ලදී.

                        එවැනි පුවරුවක් කොළඹ කොටස් වෙළෙඳ පොළේ පිහිටුවන ලද්දේ මෙරට ඉතිහාසයේ පළමු වතාවටය.

ලැයිස්තුගත කිරීම සඳහා මාලදිවයින් සමාගම් ඉලක්ක කර ගැනීමට, කොළඹ කොටස් හුවමාරුව විසින් 2019 මාර්තු මස පැවැති මාලදිවයින් 'ගෝල් 100' ව්‍යාපාර සම්මාන උත්සවයේදී එම පහසුකම දියත් කරන ලදි.

බහු මුදල් පුවරුවේ ලැයිස්තුගත වීමට අපේක්ෂා කරන විදේශීය සමාගමක් මුලින්ම තම රටේ කොටස් වෙළෙඳ පොළෙහි ලැයිස්තුගත විය යුතුය. එමඟින් අපේක්ෂා කරනුයේ මෙම නව පුවරුව යටතේ පැමිණෙන විදේශීය සමාගම් ඔවුන්ගේ කොටස් වෙළඳ පොළ තුළ හොඳ තත්ත්වයේ සමාගම් වන බවට සහතික කිරීමයි. මෙම ක්‍රියාකාරකම තුළින් බලාපොරොත්තු වනුයේ විදේශ මුදල්වලින් හුවමාරු වන සුරැකුම්පත් මෙම නව පුවරුවේ ලැයිස්තුගත කර, ගනුදෙනු හා ද්‍රවශීලතාව ඉහළ නැංවීම හරහා කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වීමේ ක්‍රමවේදයේ ආකර්ෂණීයභාවය ඉහළ නැංවීමයි. 

(ii) කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ වෙළෙද පොළ ප්‍රාග්ධනීකරණය 2015 අවසන් වන විට රුපියල් ට්‍රිලියන 2.93ක් වන අතර, එය 2016දී රුපියල් ට්‍රිලියන 2.74ක් විය. 2017දී වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 2.89ක් දක්වා ඉහළ ගොස් ඇත.

(iii) 1990 තරම් ඈත කාලයකදී, එවකට කර්මාන්ත අමාත්‍ය වශයෙන් කටයුතු කළ වර්තමාන අගමැතිතුමා වන ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කාර්මීකරණය සඳහා වූ උපාය මාර්ග හරහා වෙළෙඳ පොළ ගනුදෙනු තුළින් උපයන ප්‍රාග්ධන ලාභය, ප්‍රාග්ධන ලාභ බද්දෙන් නිදහස් කර ඇත.

කොටස් වෙළෙඳ පොළ තුළ, කොටස් සඳහා සාධාරණ මිලක් සොයා ගැනීමට ගනුදෙනු පරිමාව හා ද්‍රවශීලතාව  වැඩි කිරීම සඳහා ප්‍රාග්ධන වෙළෙඳ පොළ ගනුදෙනු දිරිගැන්වීමේ අවශ්‍යතාව පිළිබඳව අපගේ රජය ගැඹුරින් අවධානය යොමුකොට ඇත.

මෙම දිරිගැන්වීම දිගටම කරගෙන යෑමට රජය අපේක්ෂා කරන අතර, ඒ සඳහා 2017 අංක 24 දේශීය ආදායම් පනතේ කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු ලාභ බද්දෙන් නිදහස් කිරීම අඛණ්ඩව ලබා දී ඇත.

(iv) පසුගිය රජයේ ඉහළ පොලී අනුපාත සහිත වාණිජ ණය ගැනීම්වල ප්‍රතිඵලයක් ලෙස ණය බර, පොලී බර සහ රජයේ භාණ්ඩාගාරයේ මුදල් ප්‍රවාහයට ඇති බාධාවලින් ජාතික ශේෂ පත්‍රය සමනය කිරීම සඳහා පමණක් සුපිරි ලාභ බද්ද පැනවීය.

මෙම බද්ද කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු අධෛර්යවත් කරන බද්දක් නොවන අතර, වග කිව යුතු ආයතන නිසා දුෂ්කර වුවත්, ශ්‍රී ලංකා ජාතික ශේෂ පත්‍ර තත්ත්වය තුළ ඔරොත්තු දෙන ආයතන ලෙස ක්‍රියාකිරීමට නම්, ඔවුන් සැලකිය යුතු මට්ටමක ණය ප්‍රමාණයක් පවතින බවත්, එය ආර්ථිකයට බාධාවක් මෙන්ම සාර්ව ආර්ථිකයට හා දෙවනුව ක්ෂුද්‍ර ආර්ථිකයට ද බලපෑම් ඇති කරන බව හඳුනාගත යුතුය.

මෙම සුපිරි ලාභ බද්ද ගෙවූ ආයතනික ප්‍රජාවට ස්තුතිවන්ත වන අතර, අපි අපගේ කෘතඥතාවය පළ කර සිටිමු. මෙම අනපේක්ෂිත බද්ද බරක් වුවද ලැයිස්තුගත සමාගම්වල ලාභ පහත සඳහන් ආකාරයට ඉහළ යාම ගැන අපි අතිශයින් සතුටු වෙමු.

ලැයිස්තුගත සමාගම්වල බදු වලින් පසු මුළු ලාභය

2015 - රුපියල් මිලියන 205,430

2016 - රුපියල් මිලියන 233,343

2017 - රුපියල් මිලියන 235,373

(v) එවැනි අපේක්ෂාවක් නොමැත.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2019-08-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks