2026 වසරේ මාර්තු මස වන විට අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනයට අදාළ ප්‍රතිපත්ති රාමුව සම්මත කරගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමතියට යොමු කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව ඩිජිටල් කාර්ය සාධක බලකායේ සැලැස්ම ඉදිරිපත් කරමින් එම නිලධාරීහු පැවැසුහ.
ඒ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනු කාරක සභාව පසුගිය දා (සැප්. 23) ගරු අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.
මෙහිදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව ඩිජිටල් කාර්ය සාධක බලකායේ යෝජිත සැලැස්ම ඉදිරිපත් කරමින් එම නිලධාරිහු අංශයන් 6ක් ඔස්සේ මෙම අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ තුළ මෙම ඩිජිටල් කරන ක්‍රියාවලිය සිදු කිරීමට අවධානය යොමුකර ඇති බවද පෙන්වා දුන්හ. ඒ අනුව ඩිජිටල්කරණය ඔස්සේ ගුරු හිඟයට සාධනීය පිළිතුරක් අපේක්ෂා කරන බව ඔවුහු පැවැසුහ. තව ද අධ්‍යාපනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්බන්ධව අදාළ උපකරණ සහ සම්පත් ලබාදීම, යම් ව්‍යසනකාරී තත්ත්වයන් තුළ පාසැල් පද්ධතිය අඛණ්ඩව පත්වාගෙන යාම, දරුවන්ගේ ළමා ලෝකය ඩිජිටල්කරණය තුළින් ලබාදීම ඇතුළු අංශ කෙරෙහි අවධානය යොමු කරමින් මෙම ඩිජිටල් කරන ක්‍රියාවලිය සිදු කිරීමට අපේක්ෂා කරන බව එම නිලධාරීහු කරුණු දක්වමින් පෙන්වා දුන්හ.
2025 වසරේ දෙසැම්බර් 31 වන විට මෙරට අන්තර්ජාල පහසුකම් නොමැති පාසල් සඳහා අන්තර්ජාල පහසුකම්ද, එකදු හෝ ඩිජිටල් පුවරුවක් (digital Smart board) සහ පරිගණකයක් හෝ ලැප්ටොප් පරිගණකයක් නොමැති පාසල් සඳහා ඒවා ලබාදී අවසන් කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව ඩිජිටල් කාර්ය සාධක බලකායේ නිලධාරීහු පැවසුහ.
පවතින දත්ත අනුව මෙරට ද්විතීක පාසල් වලින් පාසැල් 3කට විදුලි බලය නොමැති බවත්, තවත් පාසැල් 546කට එකදු හෝ පරිගණකයක්, ලැප්ටොප් පරිගණකයක් හෝ ටැබ් එකක් නොමැති බවත්, තවත් පාසැල් 2088කට ඩිජිටල් පුවරුවක් (digital Smart board) නොමැති බව ද එම නිලධාරීහු පෙන්වා දුන්හ.
මෙහිදී අදහස් දක්වමින් ගරු අග්‍රාමාත්‍යතුමිය, අනාගතය වෙනුවෙන් විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරමින් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ සිදුකරන මෙම සුවිශේෂී පරිවර්තනය සඳහා සියලුම දෙනාගේ සහය අත්‍යවශ්‍ය වන බව පැවසුවාය. ඒ අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව ඩිජිටල් කාර්ය සාධක බලකායට ඒ සඳහා සුදුසු අදහස් හා යෝජනා ලබාදෙන ලෙසටද ඇය ඉල්ලා සිටියාය.
මෙම රැස්වීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගීව සිටියහ.