නවවැනි පාර්ලිමේන්තුවේ කථානායකතුමන්ට, නියෝජ්‍ය කථානායකතුමන්ට, නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමන්ට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයෙන් උපහාර

දිනය : 2024-10-11

Print

නවවැනි පාර්ලිමේන්තුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන, නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ, නියෝජ්‍ය කාරක සභා සභාපති ගරු අංගජන් රාමනාදන් යන මහත්වරුන් වෙත සුබ පැතුම් හා උපහාර පිරිනැමීමේ උත්සවයක් පසුගියදා (ඔක්. 09) පැවැත්වුණි.

පාර්ලිමේන්තුවක කාලය අවසානයේ සම්ප්‍රදායානුකූලව සිදුකෙරෙන උපහාර උළෙලක් ලෙස මෙවරද මෙම  උපහාර උළෙල සංවිධානය කොට තිබුණි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, නියෝජ්‍ය මහ ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානි චමින්ද කුලරත්න, සහකාර මහ ලේකම් හංස අබේරත්න යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සහ පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු හා අංශ ප්‍රධානීන් මෙන්ම කාර්‍ය මණ්ඩල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් උපහාර තිළිණ පිරිනැමීම සිදු විය.

මෙහිදී අදහස් දක්වමින් නවවැනි පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ගත වූ කාලය තුළ, සිය රාජකාරි කටයුතු වලදී ලබා දුන් සහයෝගය වෙනුවෙන් පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලය ඇතුළු පාර්ලිමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලය වෙත ස්තුතිය පළ කළේය.

පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය සමග සුහද පිළිසදරක නිරත වූ ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සමග සමූහ ජායාරූපයකට ද පෙනී සිටියේය.

මේ අවස්ථාව සඳහා ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ බිරිඳ වන නෙලුම් වලවගේ මහත්මිය ද එක්ව සිටි අතර නොවැළැක්විය හැකි හේතූන් මත ගරු අජිත් රාජපක්ෂ මහතා සහ ගරු අංගජන් රාමනාදන් මහතා මෙම අවස්ථවට සහභාගී නොවන බව දන්වා තිබුණි.

 

1 2

3 4

5 6

7 8