නවවැනි පාර්ලිමේන්තුවේ අසුන් හිස්වීම් 19 ක්, වාර අවසාන කිරීම් 4ක් සහ රැස්වූ දින ගණන 390 ක් |
දිනය : | 2024-10-03 |
|
2020 අගෝස්තු 20 වැනි දින පළමු රැස්වීමෙන් ආරම්භ වී 2024 සැප්තැම්බර් 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ ගරු ජනාධිපතිතුමා විසින් විසුරුවා හරිනු ලැබූ නවවැනි පාර්ලිමේන්තුව පැවති, මෙම කාලසීමාව තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66 වන ව්‍යවස්ථාව ප්‍රකාරව මන්ත්‍රීධුර 19 ක පුරප්පාඩු ඇතිවූ අතර ඒ අනුව අවස්ථා 18 ක දී මන්ත්‍රීවරුන් 16 දෙනෙකු නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස පත්වී ඇත. ඒ අනුව මන්ත්‍රීවරුන් 241 ක් මෙම පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ගරු ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වූ අතර ඒ වෙනුවට ගරු බැසිල් රාජපක්ෂ මහතා පත්කරන ලදී. අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වූ අතර එම පුරප්පාඩුවට නැවතත් ගරු ජයන්ත කැටගොඩ මහතා පත්කරන ලදී. මේ අයුරින්ම ගරු.මුජිබර් රහුමාන් මහතා ගේ ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ අසුන සඳහා ගරු ඒ. එච්.එම්. ෆවුසි මහතා තේරී පත්වූ අතර අධිකරණ තීන්දුවක් අනුව පුරප්පාඩු වූ ගරු ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු අසුන සඳහා නැවතත් ගරු මුජිබර් රහුමාන් මහතා පත් කර ගන්නා ලදී. කෙසේ වුවද පුරප්පාඩු වූ ගරු හරීන් ප්‍රනාන්දු මහතාගේ මන්ත්‍රීධූරය සඳහා නව මන්ත්‍රීවරයකු පත් නොකරන ලදී.
සුවිශේෂී කාරුණු රැසක් හේතුවෙන් වඩාත් ජනතා අවධානයට ලක්වූ නවවැනි පාර්ලිමේන්තුවේ සිදු වූ සුවිශේෂීම සිදුවීමක් වූයේ මෙරට 7වැනි විධායක ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව මෙරට 8වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගරු රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් තෝරා පත්වීමයි. මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ගරු රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය වෙනුවට නව මන්ත්‍රීවරයෙකු පත් වීම ඇතුළුව නව මන්ත්‍රීවරුන් 16 දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස පත්වී ඇත.
| අංකය | මන්ත්‍රීවරයාගේ නම සහ මන්ත්‍රීධුරය පුරප්පාඩු වීමට හේතුව | පුරප්පාඩුව සඳහා පත් වූ නව මන්ත්‍රීවරයාගේ නම |
| ඉල්ලා අස්වීම | ||
| 01 | ගරු ජයන්ත කැටගොඩ මහතා | ගරු බැසිල් රාජපක්ෂ මහතා |
| 02 | ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා | ගරු ජයන්ත කැටගොඩ මහතා |
| 03 | ගරු මහින්ද සමරසිංහ මහතා | ගරු ලලිත් වර්ණකුමාර මහතා |
| 04 | ගරු බැසිල් රාජපක්ෂ මහතා | ගරු ධම්මික පෙරේරා මහතා |
| 05 | ගරු මුජිබර් රහුමාන් මහතා | ගරු ඒ. එච්. එම්. ෆවුසි මහතා |
| 06 | ගරු චමින්ද විජේසිරි මහතා | ගරු නයන වාසලතිලක මහතා |
| 07 | ගරු උද්දික ප්‍රේමරත්න මහතා | ගරු එස්. සී. මුතුකුමාරණ මහතා |
| 08 | ගරු තලතා අතුකෝරල මහත්මිය | ගරු කරුණාරත්න පරණවිතාන මහතා |
| ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 හෝ 91 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව මන්ත්‍රීධුරයක් දැරීමට නුසුදුස්සෙකු වීම | ||
| 09 | ගරු රංජන් රාමනායක මහතා | ගරු අජිත් මාන්නප්පෙරුම මහතා |
| 10 | ගරු ඩයනා ගමගේ මහත්මිය | ගරු මුජිබර් රහුමාන් මහතා |
| පක්ෂ සාමාජිකත්වයෙන් පහ කිරීම | ||
| 11 | ගරු නසීර් අහමඩ් මහතා | ගරු අලි සහිර් මවුලානා මහතා |
| 12 | ගරු මනූෂ නානායක්කාර මහතා | ගරු බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා |
| 13 | ගරු හරීන් ප්‍රනාන්දු මහතා | ----- |
| මියයෑම | ||
| 14 | ගරු අමරකීර්ති අතුකෝරල මහතා | ගරු ජගත් සමරවික්‍රම මහතා |
| 15 | ගරු සනත් නිශාන්ත මහතා | ගරු ජගත් ප්‍රියංකර මහතා |
| 16 | ගරු එච්. නන්දසේන මහතා | ගරු එම්. ජී. වීරසේන මහතා |
| 17 | ගරු ආර්. සම්බන්ධන් මහතා | ගරු කදිරවේලු කුගදාසන් මහතා |
| ජනාධිපති ධුරයට පත්වීම | ||
| 18 | ගරු රනිල් වික්‍රමසිංහ මහතා | ගරු වජිර අබේවර්ධන මහතා |
| 19 | ගරු අනුර කුමාර දිසානායක මහතා | ගරු ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා |
මෙම පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම් 4කට ලක්වී ඇති අතර මින් පළමු වාර අවසාන කිරීම් දෙක හිටපු ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදුකොට ඇති අතර තෙවැනි සහ සිව්වැනි වාර අවසාන කිරීම් හිටපු ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකර තිබේ. මේ අනුව නවවැනි පාර්ලිමේන්තුවේ සභාවාර 5ක් පැවතී ඇති අතර පළමු සභාවාරය 2020.08.20 දින සිට 2021.12.12 දක්වාත්, දෙවැනි සභාවාරය 2022.01.18 දින සිට 2022.07.28 දක්වාත්, තෙවැනි සභාවාරය 2022.08.03 දින සිට 2023.01.27 දක්වාත්, සිව්වැනි සභාවාරය 2023.02.08 දින සිට 2024.01.26 දක්වාත් පස්වැනි සභාවාරය 2024.02.07 සිට 2024.09.24 දින පාර්ලිමේන්තුව විසුරුවාහැරීම දක්වාත් ක්‍රියාත්මක වී තිබේ. එසේම මෙම සභාවාර 5 තුළ පාර්ලිමේන්තුව දින 390ක් රැස්වී ඇත.