ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වන්නේ 21 වැනිදා පමණයි - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි

දිනය : 2024-08-15

Print

අගෝස්තු මස දෙවැනි රැස්වීම් සතියේ පාර්ලිමේන්තුව අගෝස්තු 21 වැනි බදාදා පමණක් රැස්වීමට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 08 වැනිදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.

මේ අනුව අගෝස්තු 21 වැනි බදාදා පෙ.ව. 9.30 - පෙ.ව. 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා සුරාබදු ආඥා පනත යටතේ අංක 2366/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නිවේදනය සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2387/38 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී ඇත.

අනතුරුව වර්ල්ඩ් ලයිෆ් ලයින් යෝගා ආයතනය (සංස්ථාගත කිරීමේ) පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව වෙත යොමු කිරීමට ද නියමිතව තිබේ.

ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න 2ක් සඳහා කාලය වෙන් කිරීමට ද මෙහිදී තීරණය වී ඇත.

 

1 2