ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

නවසීලන්ත කථානායකවරයා ප්‍රමුඛ දූත පිරිසක් මෙරට කථානායකවරයා හමුවෙයි

දිනය : 2024-07-10

නවසීලන්ත පාර්ලිමේන්තුවේ කථානායක ගරු ‍ජෙරී බ්‍රව්න්ලි මහතා ප්‍රමුඛ නවසීන්ත පාර්ලමේන්තුවේ දූත පිරිසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා  ඊයේ (ජූලි 09) පාර්ලිමේන්තුවේදී හමුවූහ.

නවසීලන්ත පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරයන් වන කාලෝස් චියැංග්, ඇන්ඩි ෆොස්ටර්, කුෂ්ලා ටැංගාරී මැනුඑල්, ලෝරන්ස් ෂූනෑන් යන මහත්ම මහත්මීහූගෙන් දූත පිරිස සමන්විත විය.

දෙරටේ පාර්ලිමේන්තු ක්‍රමවේදයන්, ආර්ථිකය සම්බන්ධ කරුණු ආදිය පිළිබඳව කථානායකවරු සුහද සාකච්ඡාවක නිරත වූහ. ශ්‍රී ලංකාවේ සහ නවසීලන්තය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමට මෙහිදී දෙරටේ කථානායකවරු සහතික වූහ. එසේම මෙරටට පැමිණීම සම්බන්ධව ද කථානායකවරයා සිය ස්තූතිය නවසීලන්ත කථානායකවරයාට  පළ කළේය.

අනතුරුව දූත පිරිස ශ්‍රී ලංකා නවසීලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයේ ඒකාබද්ධ රැස්වීමට ද සහභාගී විය. මෙහිදී අදහස් දක්වමින් නවසීලන්ත කථානායකවරයා පැවසුවේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවතින අන්තර් පාර්ලිමේන්තු, වාණිජ, ක්‍රීඩා වැනි සෑම අංශයකම ද්වීපාර්ශ්වීය සබඳතා තවදුරටත් වැඩිදියුණු කරගැනීම සදහා සිය සහය ලබාදෙන බවයි.

ශ්‍රී ලංකා නවසීලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නිරෝෂන් පෙරේරා මහතා අදහස් දක්වමින් පැවසුවේ මෙම සංචාරය නිසා කලාපයේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදයක් ක්‍රියාත්මක  දෙරටේ පාර්ලිමේන්තු අතර සම්බන්ධතාවය තවදුරටත් ශක්තිමත් වන බවයි. එසේම ආයෝජන ප්‍රවර්ධනය ඇතුළු වාණිජ ක්ෂේත්‍රයේ සබඳතා තවදුරටත් වැඩිදියුණු කර ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය.

එසේම දෙර‍ටේ ක්‍රිකට් සහ රගර් ක්‍රීඩා ක්ෂේත්‍රවල පවතින සබදතාවද සභාපතිවරයා මෙහිදී සිහිපත් කළේය.  

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනිය ගරු වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පෙන්වා දුන්නේ පසුගිය වසරේ කාන්තා මන්ත්‍රීවරියන් නවසීලන්තයේ සිදුකළ අධ්‍යයන චාරිකාවෙන් පසුව මෙරට  කාන්තාවන්ගේ අභිවෘද්ධිය සදහා නව නිර්දේශ රැසක් ඉදිරිපත් කිරීමට හැකිවූ බවයි. පසුගිය කාලය තුළ කාන්තාවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන්  නීති සම්පාදනයේදී විශාල කාර්යභාර්යක් මෙම සංසදයට ඉටුකිරීමට හැකිවූ බව ද සංසදයේ සභාපතිනිය පෙන්වා දුන්නාය.

දුත පිරිස කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු මෙරට පාර්මේන්තුවේ නියෝජිතයන් සමඟ දිවා භෝජන සංග්‍රහයකටද එක්විය.

අනතුරුව පාර්ලිමේන්තු පරිශ්‍රයේ සංචාරයක නිරත වූ නවසීලන්ත කථානායකවරයා ඇතුළු දූත පිරිස පාර්ලිමේන්තු සභාගර්භයේ විශේෂ අමුත්තන්ගේ ගැලරියට පැමිණ පාර්ලිමේන්තු රැස්වීම නැරඹීමට ද එක්විය.

එසේම නවසීලන්ත පාර්ලිමේන්තුවේ කථානායක ගරු ‍ගෙරී බ්‍රවුන්ලි මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ආරාධිතයන් සඳහා වූ සටහන් පොතේ හි අත්සන් තැබීම ද සිදු කළේය

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ, නියෝජ්‍ය කාරක සභා සභාපති ගරු අංගජන් රාමනාදන්, ශ්‍රී ලංකා නවසීලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තලතා අතුකෝරළ  යන මහත්ම මහත්මීහු ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් මෙකී අවස්ථාවන්ට එක්ව සිටියහ. එසේම පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න සහ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස් ඩේවිඩ් පයින්,  යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද  මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

12

34

56

78

910

11

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි