ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තුව ජූලි 09 සිට 12 දක්වා රැස්වේ

දිනය : 2024-07-05

  • ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ජූලි 09
  • සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ජූලි 11

 

පාර්ලිමේන්තුව ජූලි 09 වැනිදා සිට 12 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි. පසුගියදා (ජූලි 03)  කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී ඉදිරි පාර්ලිමේන්තු සතිය තුළ සිදුකරන්නා වූ පාර්ලිමේන්තු කටයුතු තීරණය කරන ලදි.

මේ අනුව ජූලි 09 වැනි අඟහරුවාදා පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) විවාදය පැවැත්වීමට ද, ජී.එස්.එම්.බී. ටෙක්නිකල් සර්විස් (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව (2021), ටවර් හෝල් රඟහල පදනමේ වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශය (2021) සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව (2022) විවාදයකින් තොරව අනුමත කිරීමට ද නියමිතව තිබේ. එසේම මාතර සමය සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත, ශෛලී අධ්‍යාපනික පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත සහ සමාධි භාවනා හා යෝගා මධ්‍යස්ථාන (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත සලකා බැලීමට නියමිත අතර ශ්‍රී ලංකා සැලසුම් තාක්ෂණඥයින්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට ද නියමිතව ඇත.

ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (ආණ්ඩු පාර්ශ්වය විසින් ඉදිරිපත් කිරීමට නියමිත) විවාදයට ගැනීමට නියමිතව තිබේ.
    
ජූලි මස 10 වැනි බදාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇති අතර පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා සුරාබදු ආඥාපනත යටතේ අංක 2366/38 සහ 2369/32 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති නිවේදන දෙකක්, ආනයන සහ අපනයන පනත යටතේ අංක 2384/34 සහ 2384/35 දරන අති විශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති රෙගුලාසි දෙකක් සහ  ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අංක 2377/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියමය විවාදයට ගැනීමට නියමිතව ඇත.

අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන් කර ඇත.
 
ජූලි මස 11 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා කාලය වෙන්කර ඇති අතර පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා සත්ත්ව සුබසාධන පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) විවාදයට ගැනීමට නියමිතව ඇත.

අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය විසින් ඉදිරිපත් කිරීමට නියමිත) විවාදයට ගැනීමට නියමිතව තිබේ.

ජූලි මස 12 වැනි සිකුරාදා පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා කාලය වෙන්කර ඇති අතර පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා ආක්‍රමණික පැළෑටි හා සතුන් හේතුවෙන් ජෛව විවිධත්වයට සිදුවන හානිය අවම කිරීම (ගරු බුද්ධික පතිරණ මහතා) , ක්‍රීඩා අමාත්‍යාංශයේ විගණන සහ නීති අංශ ශක්තිමත් කිරීමට වැඩසටහනක් සකස් කිරීම (ගරු රෝහණ බණ්ඩාර මහතා), ආගමික අන්තවාදය වැළැක්වීමේ අවශ්‍යතාවය (ගරු හේෂා විතානගේ මහතා), අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ දී සිසු සිසුවියන් ලබා ගන්නා Z- අගය (Z-Score) මත සියලුම රාජ්‍ය අංශයේ රැකියා පුරප්පාඩු පිරවීම (ගරු ඩලස් අලහප්පෙරුම මහතා), කඳුරට වෘත්තීය සමිති විරු දිනය ප්‍රකාශයට පත්කිරීම (ගරු වේලු කුමාර් මහතා) සහ ශ්‍රී ලාංකික ශිෂ්‍ය ප්‍රජාව‍ට සිය අනාගතය සාර්ථක කරගැනීම සඳහා ජාතික වෘත්තීය මාර්ගෝපදේශන විධිමත් අයුරින් ලබාදීම (ගරු රොෂාන් රණසිංහ මහතා) යන මාතෘකා යටතේ වන පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ යෝජනා විවාදයට ගැනීමට නියමිතව තිබේ.

අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන් කර ඇත.

 

5 6

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි