ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කෑගලු විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී

දිනය : 2024-07-05

කෑගලු විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව 2024.07.04 වන දින ජනාධිපති ලේකම් කාර්යාලීය සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සහ ජනාධිපති ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද සහභාගී විය.

එහිදී රැස්ව සිටි පිරිස අමතමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ‍පැවසුවේ පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ දැනුම ලබාගැනීමට තරුණ ප්‍රජාව දක්වන උනන්දුව  පිළිබඳ සතුටු වන බවයි. දේශපාලන ක්ෂේත්‍රයට පිවිසීමේදී උගත්කම මෙන්ම මනා දේශපාලනික අවබෝධයකින් සිටීමේ වැදගත්කම  ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය පැහැදිළි කරමින් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසා සි‍ටියේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට අනාගත පරපුර අධිෂ්ඨාන කරගත යුතු බවයි. ශිෂ්‍ය පාර්ලිමේන්තු ව්‍යාපෘතියට අන්තර්ජාලය හරහා සම්බන්ධ වූ පළමු පාසල කෑගලු විද්‍යාලය බව ඇය වැඩිදුරටත් සිහිපත් කළාය. දේශපාලන දැනුමැති ප්‍රජාවක් බිහිකිරීමේ අරමුණින් පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව දැනුම සියලු දෙනා සමඟ බෙදා ගන්නා ලෙස කුෂානි රෝහණදීර මහත්මිය සියලුම තරුණ සිසු දරුවන්‍ට ආරාධනා කළාය.

ශ්‍රී ලාංකේය පාර්ලිමේන්තු ඉතිහාසයේ වැදගත් තීන්දු තීරණ රැසක් ගන්නා අවස්ථාවේදී සෙවණ දුන්  ව්‍යවස්ථාදායක ගොඩනැඟිල්ලක් වන වත්මන් ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට මෙම විවාදය පැවැත්වීම දරුවන්ට හිමිවූ මහඟු අවස්ථාවක් බව කෑගලු විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ඩබ්ලිව්.ඒ. හේරත් මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

කෑගලු විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම මෙම අවස්ථාවට සහභාගී වූ දූ දරුවන්ට ද සහතිකපත් ප්‍රදානය කෙරිණි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මේජර් නදීක දංගොල්ල, පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සම්බන්ධතා කළමනාකාරිනී බුද්ධිනි රාමනායක මෙනවිය, මහජන සම්බන්ධතා නිලධාරීන් වන දුමින්ද වික්‍රමසිංහ සහ යස්රි මොහොමඩ් යන මහත්වරුද මහජන සම්බන්ධතා සම්බන්ධීකාරක ජය ප්‍රකාශ් මහතාද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

16 8

23 19

3 9

31 37

30 4

26 5

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි