ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත සහ තත්කාලීන මාධ්‍ය භාවිතය පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තුවේදී

දිනය : 2024-07-05

පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත සහ තත්කාලීන මාධ්‍ය භාවිතය පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (ජූලි 04) පාර්ලිමේන්තුවේදී කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව සහ පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චමල් රාජපක්ෂ, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු ආචාර්ය විජේදාස රාජපක්ෂ, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න, පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස අබේරත්න සහ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩබලන) ජයලත් පෙරේරා යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.  

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා මෙහි මුඛ්‍ය දේශනය ඉදිරිපත් කළේය. අනතුරුව පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතට අදාළ නෛතික තත්ත්වය පිළිබඳ විද්වත් මඩුල්ල සමග  ප්‍රශ්න සහ පිළිතුරු සැසියක් ද පැවැත්විණි.

පසුගිය කාලය පුරා විවිධ අවස්ථාවන්වලදී මාධ්‍යවේදීන් ආචාර ධර්ම හා වරප්‍රසාද කාරක සභාව වෙත කැඳවීමට සිදුවීම සහ ඉදිරියේදී එවැනි අවස්ථාවන් ඇතිවීම වලක්වා ගැනීම සඳහා මාධ්‍යවේදීන් දැනුවත් කිරීම මෙන්ම ඔවුන්ගේ දැනුම යාවත්කාලීන කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය.  

මෙහිදී අදහස් දක්වමින් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ පාර්ලිමේන්තුවේ තොරතුරු සත්‍ය සහ නිවැරදි ලෙස වාර්තා කිරීම මාධ්‍යවේදීන්ගේ ප්‍රමුඛතම වගකීමක් බවයි. පාර්ලිමේන්තුවේදී ඇතැම් පදනම් විරහිත, අසත්‍ය චෝදනා හුවමාරු වුවද ඒ සියලු දෑ ප්‍රවෘත්ති ලෙස වාර්තා කිරීම කොයිතරම් දුරට සාධාරණදැයි සිතා බැලිය යුතු බවත් කථානායකවරයා සදහන් කළේය.

එසේම ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ පසුගිය පාර්ලිමේන්තු සභාවාරයේ වරප්‍රසාද ප්‍රශ්න 51 ක් වාර්තා වූ බවත් මෙම සභාවාරයේ වරප්‍රසාද ප්‍රශ්න 16ක් දැනට පවතින බවත්ය. මින් වැඩි ප්‍රමාණයක් ජනමාධ්‍ය මගින් පළ වූ දේ සම්බන්ධව බවත් එබැවින් මාධ්‍ය සහ මහජන නියෝජිතයන් යන කොට්ඨාස ද්විත්ව‍යම නිසි අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් බවත් පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය ගරු විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදය සාර්ථකව ක්‍රියාත්මක වීම සදහා සත්‍ය තොරතුරු ජනතාවට සමීප කිරීම අතිශය වැදගත් බවයි. වැරදි තොරතුරු ජනතාවට ලැබෙන්නේ නම් ජනතාව විසින් ගන්නා සියලු තීරණ වැරදි වන බවත් ඒ අනුව නිවැරදි තොරතුරු ලබාදීම සදහා ජනමාධ්‍යයට සුවිසල් වගකීමක් පැවරෙන බවත්  ඒ මහතා පෙන්වා දුන්නේය.  

එසේම පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා පෙන්වා දුන්නේ මෙම වැඩසටහන නව දැනුම ලබා ගැනීමට පමණක් නොව මෙම ක්ෂේත්‍රයට අදාළව මාධ්‍යවේදීන්ට පවතින වත්මන් ගැටලු සාකච්ඡා කිරීමට ද අනගි අවස්ථාවක් බවයි.

 

12

34

5

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි