ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වෙයි

දිනය : 2024-06-20

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත අද (ජුනි 20) පාර්ලි‍මේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය.

2024 මැයි මස 7 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය ජූනි 4 වැනිදා පවත්වා කල්තබන ලද අතර විවාදය අද දෙවැනි දිනටත් පැවැත්විණි.

මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම අරමුණු කරගත් මෙම පනත් කෙටුම්පත මගින්   කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම සදහා විධිවිධාන සපයා ඇත. එසේම කාන්තාවන්ගේ අභිවෘද්ධිය සහ සවිබල ගැන්වීම පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම, කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යාන්ත්‍රණ ස්ථාපිත කිරීම සහ එකී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව නඩු පැවරීම ඇතුළු  ඊට ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන මෙම නව පනත මගින් ලබා දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය, ළමුන්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම අමාත්‍යාංශයේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුවිය.

මේ අතර යුනෙස්කෝ සඳහා වූ ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභාව පනත් කෙටුම්පතද  (දෙවැනිවර කියවීම) අද විවාදයට ගැනීමෙන් අනතුරුව සංශෝධන සහිතව අද සම්මත විය. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) සදහා ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම ඇතුළු අනුෂංගික කාරණා සදහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරිණි.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි