පාර්ලිමේන්තු මහ ලේකම්වරුන් සහ නිලධාරීන් වෙනුවෙන් පැවැත්වෙන නායකත්වය සඳහා වන නේවාසික වැඩමුළුව කොළඹදී ආරම්භ වෙයි |
දිනය : | 2024-06-13 |
පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සංවිධානය කරනු ලබන පාර්ලිමේන්තු මහ ලේකම්වරුන් සහ නිලධාරීන් වෙනුවෙන් පැවැත්වෙන නායකත්වය සඳහා වන නේවාසික වැඩමුළුව පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැති එහි සමාරම්භක උත්සවයෙන් අනතුරුව කොළඹදී ආරම්භ විය.
ඉන්දියාව, පකිස්තානය, එක්සත් රාජධානිය, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 15ක නියෝජිතයන් 40ක පමණ පිරිසක් එක්ව සිටින මෙම නේවාසික පුහුණු වැඩමුළුව මේ මස (ජුනි) 11 සිට 14 දින දක්වා කොළඹදී පැවැත්වේ.
පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මෙහෙයුම් ප්‍රධානී මැතිව් සලික් මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ වූ වැඩමුළුවේදී පෞද්ගලික ඉලක්ක සැකසීම, අවස්ථා සහ අභියෝග, පෞද්ගලික කළමනාකරණය, නායකත්වය සහ කළමනාකරණ කුසලතා සහ සංස්කෘතික බුද්ධිය ඇතුළු මාතෘකා පිළිබඳ විවිධ සැසිවාර සහ උපදේශන පැවැත්වේ.
තවද, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය විසින් නිලධාරීන් සදහා පුද්ගලික කළමනාකරණය පිළිබඳව දේශනයක් ඉදිරිපත් කරන ලදී. පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ස්වයං විනය සහ කළමනාකරණය පවත්වාගැනීම ඇය අවධාරණය කළ අතර රාජකාරී ජීවිතය මෙන්ම පෞද්ගලික ජීවිතය තුලනය කරමින් පුද්ගල යහපැවැත්ම කළමනාකරණය කර ගැනීම පිළිබඳව ඇය මෙහිදී කරුණු පෙන්වා දුන්නාය.
සෞඛ්‍ය ප්‍රතිලාභ, ක්‍රීඩා සහ විනෝදාස්වාදය ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද ඇය තවදුරටත් විස්තර කළාය.
කේට් ෆරාගර් (Kate Faragher), මාර්ක් වෙබ් (Mark Webb), ජැක් හාඩ්කාසල් (Jack Hardcastle), අව්නි කෝන්ඩියා (Avni Khondia) සහ රෆායල් ගොන්සාලේස් (Rafael Gonzales) යන මහත්ම මහත්මීහූ ද මෙම වැඩසටහන සඳහා සම්පත් දායකයන් ලෙස එක්වූහ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න මහතා ද සහභාගී විය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම












