ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

දකුණු කොරියානු දූෂණ විරෝධී සහ සිවිල් අයිතිවාසිකම් කොමිසමේ උප සභාපතිවරයා කථානායකවරයා හමුවෙයි

දිනය : 2024-05-22

දකුණු කොරියාවේ දූෂණ විරෝධී සහ සිවිල් අයිතිවාසිකම් කොමිසමේ උප සභාපති සහ මහලේකම් චුං ස්යුං-යුන් (Chung Seung-yun) මහතා ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු දූත පිරිසක් ඊයේ (මැයි 21) පාර්ලිමේන්තුවේදී කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.

මෙහිදී අදහස් දැක්වූ චුං ස්යුං-යුන් මහතා පවසා සිටියේ පසුගිය වසරේ ශ්‍රී ලංකාව තුළ සම්මත වූ දූෂණ විරෝධී පනත ඉතා ශක්තිමත් පනතක් බවයි. මේ අතර, අල්ලස් හා දූෂණ වැළැක්වීම සඳහා දකුණු කොරියාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතන සඳහා අඛණ්ඩතා තක්සේරු කිරීමේ ක්‍රමය (Integrity Assessment System) ශ්‍රී ලංකාව තුළ හඳුන්වාදීම සඳහා සහාය දීමට තමන් සූදානම් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සම්මත වූ දූෂණ විරෝධී පනත සම්පූර්ණයෙන්ම ස්වාධීන වන අතර ඒ අනුව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ස්වාධීනව කටයුතු කිරීමට හැකි වන බවයි. එමෙන්ම සහාය දක්වන අනෙකුත් රටවල් සමඟ එක්ව මෙය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද කථානායකවරයා පැවසීය.

මෙයට අමතරව, දකුණු කොරියාවේ දූෂණ විරෝධී නීතියේ ක්‍රියාවලිය, විමර්ශන කටයුතුවල ස්වභාවය පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර, අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් මෙරට ජනතාව අතර දැනුවත් බව වැඩි කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

මෙම හමුවේ පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න සහ සහකාර මහලේකම් හංස අබේරත්න යන මහත්වරු සහභාගී වූහ.

එමෙන්ම, දකුණු කොරියාවේ දූෂණ විරෝධී සහ සිවිල් අයිතිවාසිකම් කොමිසමේ අධ්‍යක්ෂ ලී බියම් සියෝක්, නියෝජ්‍ය අධ්‍යක්ෂ මූන් ජොන්ග්පිල්, සහකාර අධ්‍යක්ෂ ලී කා යොන්, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එම්.ආර්.වයි.කේ. උඩුවෙල සහ සහකාර අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩී.ටී. බණ්ඩාර යන මහත්ම මහත්මීන් ද මෙම හමුවට සහභාගී වූහ.

 

1 2

3 4

5

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි