ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

වීරසේන ගමගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

දිනය : 2024-04-24

වීරසේන ගමගේ මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (අප්‍රේල් 24) දිවුරුම් දුන්නේය.

කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අනුරාධපුරය දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ගරු කේ. එච්. නන්දසේන මහතාගේ අභාවය හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවට වීරසේන ගමගේ මහතා  මෙලෙස පත් කරනු ලැබීය.

1945 වර්ෂයේ උපත ලැබූ වීරසේන ගමගේ මහතා කැකිරාව මාධ්‍ය මහා විද්‍යාලයෙන් සිය අධ්‍යාපන කටයුතු නිම කර ඇත. 1991 වසරේදී දේශපාලන කටයුතු ආරම්භ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැකිරාව ප්‍රාදේශීය සභාවට මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූ ඒ මහතා එහි විපක්ෂනායක ලෙස කටයුතු කළේය.

අනතුරුව උතුරුමැද පළාත් සභා මැතිවරණයට පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කර තේරී පත්වූ වීරසේන ගමගේ මහතා එහි වැඩිම වාර ගණනක් වැඩ බලන ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත. එමෙන්ම  උතුරුමැද පළාත් සභාවේ  කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍යධුරද  හොබවා ඇත.

2020  මහ මැතිවරණයේදී  වීරසේන ගමගේ මහතා  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කරමින්  අනුරාධපුර  දිස්ත්‍රික්කයේ හයවෙනි ස්ථානය ලබා ගත්තේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැකිරාව ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරමින් සිටින එ් මහතා උතුරුමැද පළාතේ යන්ත්‍රෝපකරණ නිර්මාණ ආයතනයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරමින් සිටි.

මාලනී චිත්‍රලතා මහත්මිය සමග විවාහ දිවියට එළඹී ඇති වීරසේන ගමගේ මහතා  පුතණුවන් පස් දෙනෙකුගේ සහ එක් දියණියකගේ පියෙකි.

 

1 2

3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි