ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කථානායකතුමාගේ නිවේදන - 2023.11.22

දිනය : 2023-11-22

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය සති දෙකක කාලයකට අත්හිටුවීම

ඊයේ (නොවැ. 21) දින සභාවේ සිදු වූ බරපතල විනය විරෝධී තත්ත්වය තමා තරයේ හෙලා දකින අතර පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 146 හි විධිවිධාන ප්‍රකාරව තමා වෙත පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සනත් නිශාන්ත මහතාගේ පාර්ලිමේන්තු සේවය අද දින (22) සිට සති දෙකක කාලයකට අත්හිටුවන බව කතානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.

 

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පුනර්ජීවනය සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය ඇතුළු නව සංසද 3ක්

2023 නොවැම්බර් 20 දින පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී පහත විස්තර සඳහන් පාර්ලිමේන්තු සංසද තුනක් ස්ථාපිත කිරීම සඳහා අනුමතිය හිමි වී ඇති බව කථානායකවරයා දැනුම් දුන්නේය.

  • පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් කරන ලද ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පුනර්ජීවනය සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයක් ආරම්භ කිරීම
  • ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා සහ පිළිවෙළින් වෙනත් මන්ත්‍රීවරයන් 14 දෙනෙකු සහ 12 දෙනෙකු විසින් වෙන වෙනම කරන ලද ඉල්ලීම් පරිදි “කඳුකරය සුරැකීම” සහ “මානව හිමිකම්” පිළිබඳව පාර්ලිමේන්තු සංසද දෙකක් ආරම්භ කිරීම

 

විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සභා ගර්භය තුළ අසුන් ගැනීම

2024 වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස කාරක සභා අවස්ථාවේ විවාදය 2023 නොවැම්බර් 22 දින එනම් අද දින ආරම්භ කිරීමට නියමිත බැවින් පූර්ණ පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් සභා ගර්භය තුළ අසුන් ගැනීම පිළිබඳ රීති සම්බන්ධයෙන් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ දැන ගැනීම සහ අවධානය සඳහා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ අනුව සාම්ප්‍රදායිකව අයවැය කාරක සභා අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයාට, තම කැබිනට් අමාත්‍යවරයා ආසන්නයේ අසුන්ගත හැකි වුවද, විවාදයේදී කථා කිරීම වෙන්කරන ලද අසුනේ සිට පමණක් සිදු කළ යුතු බව කථානායකවරයා දැනුම් දුන්නේය.

 

අයවැය කාරක සභා අවස්ථාවේ වැඩසටහනෙහි සිදු කරන ලද සංශෝධන

2024 අයවැය කාරක සභා අවස්ථාවේ වැඩසටහනෙහි පරිසර අමාත්‍යාංශයේ, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතව තිබූ දින සංශෝධනය කර තිබෙන බැවින් එම ප්‍රතිශෝධිත දින පිළිබඳව කථානායකවරයා සභාව දැනුවත් කළේය. ඒ අනුව;

2023 නොවැම්බර් 27 සඳුදා විවාදයට ගැනීමට නියමිතව තිබූ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂ 2023 දෙසැම්බර් 02 සෙනසුරාදා දිනද;

2023 දෙසැම්බර් 02 සෙනසුරාදා විවාදයට ගැනීමට නියමිතව තිබූ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ 2023 දෙසැම්බර් 05 අඟහරුවාදා දිනද;

2023 දෙසැම්බර් 05 අඟහරුවාදා විවාදයට ගැනීමට නියමිතව තිබූ පරිසර අමාත්‍යාංශයේ සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂ 2023 නොවැම්බර් 27 සඳුදා දින ද;

 

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි