ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තුව දෙසැම්බර් 10 ඉරිදා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි - වැට් (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය එදින පැවැත්වීමට එකඟත්වය

දිනය : 2023-11-20

  • පක්ෂ විපක්ෂ සම සභාපතීත්වයක් යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් (Select Committee) පත්කිරීමටත් එකගත්වය
  • කෝප් කමිටුව පිළිබඳවත් අවධානය යොමු වෙයි

 

පාර්ලිමේන්තුව ලබන දෙසැම්බර් 10 වැනි ඉරිදා පෙ.ව. 9.30 සිට ප.ව. 4.30 දක්වා රැස්වීමට අද (නොවැ. 20) පස්වරුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.

මේ අනුව එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය එදින පැවැත්වීමට මෙහිදී තීරණය වී තිබේ.

මීට අමතරව ලබන 22 සහ 24 දෙදින පාර්ලිමේන්තු කටයුතුවල සංශෝධන කිහිපයක් ද සිදුවිය.

මේ අනුව ලබන 22 වැනිදා පෙ.ව. 9.30 සිට ප.ව. 10.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලින් අනතුරුව කාරක සභා අවස්ථා විවාදය පැවැත්වෙන අතර, ඉන් අනතුරුව පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් වන වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ) , නැගිටිමු නැගෙනහිර සංවිධානය (සංස්ථාගත කිරීමේ), ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ), සමාධි භාවනා හා යෝගා මධ්‍යස්ථාන (සංස්ථාගත කිරීමේ), දක්ෂිණ ලංකා තෘතීයික අධ්‍යාපන හා නායකත්ව පුහුණු පීඨය (සංස්ථාගත කිරීමේ)  පනත් කෙටුම්පත් දෙවනවර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව වෙත යොමු කිරීමට නියමිතව ඇත.

එසේම නොවැම්බර් 24 වැනිදා ද පෙ.ව. 10.00 සිට ප.ව. 6.00 දක්වා පැවැත්වෙන කාරක සභා අවස්ථා විවාදයෙන් පසු පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් වන සහන ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ), සමාධි භාවනා හා යෝගා මධ්‍යස්ථාන(සංස්ථාගත කිරීමේ), රුහුණු උදානය සංවිධානය (සංස්ථාගත කිරීමේ), මාතර සමය සංවිධානය (සංස්ථාගත කිරීමේ  සහ ශ්‍රී ලංකා ඖෂධ විද්‍යා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් දෙවනවර කියැවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව වෙත යොමු කිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතාවන් පිළිබද විමර්ශනය සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් (Select Committee) පත් කිරීම පිළිබදව ද මෙහිදී අවධානය යොමුව ඇත. පක්ෂ සහ විපක්ෂ සම සභාපතීත්වයක් යටතේ සහ සම කාරක සභා සාමාජික සංඛ්‍යාවක් යටතේ මෙම කාරක සභාව ස්ථාපිත කිරීම සදහා මෙහිදී එකඟත්වය පළවිය.

එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් ඇතුළු අනෙකුත් ආයතන සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම් ඉදිරියට පැවැත්වීමටත් කාරක සභා සභාපතීත්වය සම්බන්ධයෙන් පියවර ගන්නේ නම් එය කාරක සභා සාමාජිකයන්ගේ තීරණයක් පරිදි සිදුවිය යුතු බවටත් මෙහිදී සාකච්ඡා වී ඇත.

 

3 9

11

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි