ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ජනාධිපතිවරයා විසින් 2024 වසර සදහා වන අයවැය කතාව ඉදිරිපත් කරයි

දිනය : 2023-11-13

  • රාජ්‍ය  සේවක ජීවන වියදම් දීමනාව 10,000කින් වැඩි කෙරේ
  • විශ්‍රාමිකයින්ටත් රු. 2500කින් ජීවන වියදම් දීමනාව ඉහළට
  • නව විශ්වවිද්‍යාල හතරක් පිහිටුවීමට යෝජනා

 

මිලියන 1.3  වන රජයේ සේවකයන්හට දැනට හිමි වන රුපියල් 7,800 ක ජීවන වියදම් දීමනාව 2024 ජනවාරියේ සිට 17,800 දක්වා රුපියල් 10,000කින් වැඩි  කරන බව ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 වසර සදහා වන අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අද (නොවැ. 13) ප්‍රකාශ කළේය.

එසේම මේ දීමනාව වැඩිවීම මාසික වැටුපට එකතු  වන්නේ  අප්‍රේල් මාසයේ සිට බවත් ජනවාරි සිට මාර්තු දක්වා හිඟ මුදල ලබන වසරේ ඔක්තෝබර් මාසයේ සිට වාරික වශයෙන් මාස හයක් තුළ ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ මාසික ජීවන වියදම් දීමනාව රුපියල් 6,025 දක්වා 2500 කින් වැඩි කර ඇත. මෙම වැඩි වීම 2024 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන බවද ජනාධිපතිවරයා පැවසුවේය.

එමෙන්ම විශ්වවිද්‍යාල විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනය පුළුල් කිරීම  අරමුණු කර ගනිමින්  නව විශ්වවිද්‍යාල හතරක් පිහිටුවීමට යෝජනා කර ඇත. එනම් සීතාවක විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය,  කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යටතේ කුරුණෑගල තාක්ෂණ විශ්වවිද්‍යාලය, කළමනාකරණ හා තාක්‍ෂණ විශ්ව විද්‍යාලය සහ  ජාත්‍යන්තර දේශගුණික විපර් යාස  විශ්ව විද්‍යාලය ලෙසයි

අයවැය කථාව ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා අද උදෑසන 11.30ට පමණ පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණියේය. අනතුරුව මාධ්‍යහ්න 12ට පමණ 2024 වසර සදහා වන අයවැය කතාව ඉදිරිපත් කිරීම ආරම්භ කළේය. මෙලෙස ඉදිරිපත් කරනු ලැබුවේ නිදහස් ශ්‍රී ලංකාවේ 78 වන අයවැය කථාවයි.

අයවැය කථාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගරු ජනාධිපතිවරයා, ගරු අග්‍රාමත්‍යවරයා ප්‍රමුඛ මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් මන්ත්‍රී භෝජනාගාරයේ පැවති දිවා භෝජනය සදහා එක්වූහ.

2024 විසර්ජන පනතට අනුව, රජයේ සමස්ත වියදම ආසන්න වශයෙන් රු. බිලියන 7,833 ක් ලෙස ගතහැකි අතර ඉන් රජයේ සේවා වියදම් දැරීම සඳහා රු. බිලියන 3,861 ක් වෙන් කොට ඇත.

මේ අතර හෙට සිට (14)  ලබන  21 දක්වා, ඉරිදා දිනයන් හැර දින 7 ක් විසර් ජන  පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වේ. එසේම අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි අගහරුවාදා දා ප.ව. 6.00ට පැවැත්වීමට නියමිතව ඇත.

අනතුරුව කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 වැනිදා  බදාදා සිට දෙසැම්බර් 13 බදාදා දක්වා ඉරිදා දිනයන් හැර   දින 19 ක් පැවැත්වේ. මේ අනුව 2024 මූල්‍ය වර්ෂය සදහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනිදා  බදාදා ප.ව. 6.00 ට පැවැත්වීමට නියමිතය.

අයවැය විවාද කාල සීමාව තුළ සෑම දිනකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 5 ක් සදහා කාලය වෙන් කර ඇත. අනතුරුව පෙ.ව. 10.00 සිට ප.ව. 6.00 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර ඡන්ද විමසීම් පැවැත්වෙන දිනයන්හි හැර අ‍න්සෑම දිනකම ප.ව. 6.00 සිට ප.ව. 6.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වේ.

 

අයවැය කථාව බාගත කරන්න

 

1 10

6

9

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි