ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අයවැය අද (නොවැ. 13) සිට දෙසැම්බර් 13 දක්වා

දිනය : 2023-11-13

  • ජනාධිපතිවරයා විසින් අයවැය කතාව ඉදිරිපත් කිරීම අද මධ්‍යහ්න 12.00 ට
  • දෙවනවර කියවීමේ විවාදය නොවැම්බර් 14 සිට 21 දක්වා - දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21  අගහරුවාදා ප.ව. 6.00ට
  • කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 බදාදා සිට දෙසැම්බර් 13 බදාදා දක්වා - තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනි බදාදා ප.ව. 6.00 ට

 

2024 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (13) ප.ව. 12.00  ට පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අනතුරුව නොවැම්බර් 14 සිට 21 දක්වා, ඉරිදා දිනයන් හැර දින 7 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වේ. එසේම අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි අගහරුවාදා දා ප.ව. 6.00ට පැවැත්වීමට නියමිතව ඇත.

අනතුරුව කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 බදාදා සිට දෙසැම්බර් 13 බදාදා දක්වා ඉරිදා දිනයන් හැර   දින 19 ක් පැවැත්වේ. මේ අනුව 2024 මූල්‍ය වර්ෂය සදහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනි බදාදා ප.ව. 6.00 ට පැවැත්වීමට නියමිතය.

අයවැය විවාද කාල සීමාව තුළ සෑම දිනකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 5 ක් සදහා කාලය වෙන් කර ඇත. අනතුරුව පෙ.ව. 10.00 සිට ප.ව. 6.00 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර ඡන්ද විමසීම් පැවැත්වෙන දිනයන්හි හැර අ‍න්සෑම දිනකම ප.ව. 6.00 සිට ප.ව. 6.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වේ.

2024 විසර්ජන පනතට අනුව, රජයේ සමස්ත වියදම ආසන්න වශයෙන් රු. බිලියන 7,833 ක් ලෙස ගතහැකි අතර ඉන් රජයේ සේවා වියදම් දැරීම සඳහා රු. බිලියන 3,861 ක් වෙන් කොට ඇත.

එමෙන්ම 2024 මුදල් වර්ෂය තුළ ශ්‍රී ලංකාව තුළින් හෝ බැහැරින් හෝ මුදල් ලබාගැනීමට බලය පැවරීමේ දී 2024 වර්ෂයට අදාළව ලබාගනු ලබන ණය මුදල් හි සීමාව ලෙස දක්වා ඇත්තේ රු. බිලියන 3,900 නොඉක්මවිය යුතු ලෙසටයි.

මෙම විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්  කිරීමෙන් අනතුරුව (පළමුවන වර කියවීම)  පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරිපත් කළ අතර ඊට අදාළ අනුමතිය පසුගිය 09 වැනිදා හිමිවිය.

2024 විසර්ජන පනත් කෙටුම්පතෙහි අඩංගු වන වියදම් ඇස්තමේන්තු සාරාංශය පහත දක්වා ඇත.

 

2024 විසර්ජන පනත උපලේඛන පුනරාවර්තන වියදම්  රු. බිලියන  මූලධන වියදම් රු. බිලියන මුළු එකතුව රු. බිලියන
I උපලේඛන පොදු සේවාවන් සඳහා ගෙවිය යුතු මුදල්  2,651.4 1,209.4 3,860.8
II වන උපලේඛන ඒකාබද්ධ අරමුදලට වැය බරක් විය යුතු රජයේ වියදම්  2,702.3 1,263.7 3,966.0
III වන උපලේඛන අත්තිකාරම් ගිණුම්වල සීමා      6.0
මුළු එකතුව 5,353.7 2,473.1 7,832.8
ණය සීමාව (විසර්ජන පනත්  කෙටුම්පතට අනුව)      3,900

 

මූලාශ්‍ර - පනත් කෙටුම්පත සහ පාර්ලිමේන්තු පර්යේෂණ අංශය

 

 

කාරක සභා අවස්ථාවේ වැඩසටහන [පී.ඩී.එෆ්.]

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි