ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා නියෝජිතයන්‍ගේ අධ්‍යයන වැඩසටහන සාර්ථකව නිමාව දකී

දිනය : 2023-11-08

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) සම්පූර්ණ මූල්‍ය අනුග්‍රාහකත්වයෙන් සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී - ශ්‍රී ලංකා ආයතනයේ (NDI) තාක්ෂණික සහාය මෙන්ම සම්බන්ධීකරණයෙන් යුතුව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සියලු ආංශික අධීක්ෂණ කාරක සභා නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් කණ්ඩායමක්, ඇමරිකානු එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයේ  කාරක සභා ක්‍රියාවලිය අධ්‍යයනය කිරීමේ දස දින නිල වැඩසටහන පසුගියදා සාර්ථකව නිමා කරන ලදි.
 
මෙම අධ්‍යයන වැඩසටහන සඳහා ආංශික අධ්‍යයන කාරක සභා සභාපතිවරුන්, නියෝජිතයන් මෙන්ම  අනුයුක්ත පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයද සහභාගි විය. ඇමරිකානු එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩලයේ  දීර්ඝ කලක් ස්ථාවරව, ක්‍රියාකාරීව පවතින කාරක සභාවන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ  දැනුම හා  සිය අදහස් හුවමාරු කරගැනීමටද සෙනෙට් සභිකයන් ඇතුළු  එම ආංශික අධීක්ෂණ කාරක සභාවන්හි සාමාජිකයන් සහ ප්‍රමුඛ මට්ටමේ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වීමටද ශ්‍රී ලාංකීය අධ්‍යයන කණ්ඩායමට අවකාශ හිමි විය. එමෙන්ම එරට ජනපද මට්ටමේ ක්‍රියාවලීන් නිරීක්ෂණයට මෙන්ම කොංග්‍රසයේ මහජන සේවා අංශ වැනි නව්‍ය ප්‍රවණතා  අධ්‍යයනයටද උක්ත පිරිසට අවස්ථාවක් ලැබීම මෙහිදි සුවිශේෂි ලෙස දැක්විය හැකිය.

ඇමරිකානු රජයේ වගවීමේ කාර්‍යාලය  (Government Accountability Office), ඇමරිකානු කොංග්‍රස් අයවැය කාර්‍යාලය (Congressional Budget office), කොංග්‍රස් පර්‍යේෂණ සේවාව සදහා මධ්‍යස්ථානය (Congressional Research Service – CRS) ඇතුළු ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්  සමඟ  මෙන්ම කොංග්‍රසයේ ශ්‍රී ලංකා සංසදය සමඟ සුහද සාකච්ජා පැවැත්වීමට සහ පුරවැසියන් අතර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව  විශ්වාසය යළි ගොඩනැගීමටද මෙහිදී අවධානය යොමු කෙරිණි.

තවද ඇමරිකානු කොංග්‍රස් පර්‍යේෂණ මධ්‍යස්ථානය විසින්  කොංග්‍රස් සභිකයන් සඳහා ලබා දෙන  ප්‍රමිතිගත සහ ගුණාත්මකමට්ටමේ පර්‍යේෂණ තොරතුරු සහ දත්ත සම්බන්ධව මෙහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ අවධානය යොමු විය. එහිදී ගරු මන්ත්‍රීවරයන් ඇතුළු පාර්ලිමේන්තු අධ්‍යයන කණ්ඩායම විශේෂයෙන් අවධාරණය කළේ, ඒ සඳහා අවශ්‍ය පුහුණුව සහ පාඨමාලා හැදෑරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්‍ය මණ්ඩලයට ඉඩ ප්‍රස්තාව විවර කරදීම වඩා යහපත් ප්‍රතිඵල සදහා  හේතුවනු ඇති බවයි.

ඊට අමතරව, කථානායකතුමන් ගේ අනුමැතිය සහිතව, පාර්ලිමේන්තු මහ ලේකම් කාර්‍යාලයේ එකඟතාවයෙන්   කාරක සභා සඳහා  ආචාරධර්ම හා රීති සමුදායක් හඳුන්වාදීමට යෝජනා කිරීමටද මෙම කණ්ඩායම එකඟ වූහ. මෙම සියලු යෝජනා අතිශය ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා, මෙය වැඩසටහනට පමණක් සීමා නොවී, මාසිකව හමු වී, ප්‍රතිඵල සහ යෝජනා සාකච්ඡා කිරීම සඳහා ද  අධ්‍යයන කණ්ඩායමේ එකඟත්වය පළවිය.

 

soc-us

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි