ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka
Message
  • Sorry this content is not available in this language

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ කොරියානු කථානායකවරයා අතර කොරියාවේදී සාකච්ඡා

දිනය : 2023-11-03

  • පුහුණු ශ්‍රමිකයන් සදහා අවශ්‍ය පුහුණුව කොරියාවේ මැදිහත්වීමෙන් මෙරටදී ලබා දීමටත්, කෝටාව වැඩි කිරීමටත් එකඟත්වය
  • මෙරට ග්‍රාමීය කෘෂිකර්මාන්තය සංවර්ධනය සදහාත් කොරියාවේ සහය
  • කොරියානු රාජ්‍ය සේවය හා සමාන දියුණු රාජ්‍ය සේවයක් ඇති කිරීම සදහා අවශ්‍ය මගපෙන්වීම සහ දැනුම මෙරටට ලබා දීමටත් එකගත්වය
  • මෙරටට පැමිණෙන කොරියානු සංචාරකයන් සදහා ඉදිරියේදී නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීම සම්බන්ධයෙන්  සලකා බැලීමටත් තීරණයක්

 

කොරියානු රැකියා සදහා වැඩි වශයෙන් පුහුණු ශ්‍රමිකයන් යැවීමට අවශ්‍ය පුහුණුව කොරියාවේ මැදිහත්වීමෙන් මෙරටදීම ලබා දීමටත් පුහුණු ශ්‍රමිකයන් සදහා ලබා දී ඇති කෝටාව තවදුරටත් වැඩි කිරීමට පියවර ගන්නා බව කොරියානු කථානායක ගරු කිම් ජින් පියෝ (Kim Jin-pyo) මහතා මෙරට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාට සහතික විය.

කොරියානු කථානායකවරයාගේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරතව සිටින කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (නොවැ. 03) කොරියාවේ සෝල් නගරයේ පිහිටි එරට ව්‍යවස්ථාදායකය වන කොරියානු ජාතික රාජ්‍ය සභාවේදී එරට කථානායකවරයා හමුවී සිදු කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් කොරියානු කථානායකවරයා මේ බව පැවසීය.  

දැනට 20000කට අධික මෙරට ශ්‍රමික පිරිසක් කොරියාවේ සේවය කරන බවත් ‍පුහුණු ශ්‍රමිකයන් සදහා ශ්‍රී ලංකාවට ලබා දී ඇති කෝටාව ක්‍රමයෙන් වැඩිකළ බවත්  එරට කථානායකවරයා පෙන්වා දුන්නේය.

දශක පහකට ආසන්න කාලයක් මුළුල්ලේ පවතින ශ්‍රී ලංකා කොරියා ද්වීපාර්ශවීය සබදතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට ඉදිරියේදීත් කැපවන බව දෙරටේ කථානායකවරු මෙහිදී සහතික විය.

මෙරට ග්‍රාමීය කෘෂිකර්මාන්තය නගා සිටුවීම සදහා කොරියාවේ සාර්ථකව ක්‍රියාත්මක ස්මාට් ගොවිතැන් සංකල්පය (Smart Farming) මෙරට ස්ථාපිත කිරීම සදහා  සහය පළ කිරීමට ද මෙහිදී එකගත්වය පළ විය.

තවද කොරියාවේ මේවන විට පවතින දියුණු රාජ්‍ය සේවය හා සමාන තත්ත්වයකට මෙරට රාජ්‍ය සේවය වැඩි දියුණු කිරීම සදහා අවශ්‍ය මග පෙන්වීම හා දැනුම ලබා දීමට ද මෙහිදී කැමැත්ත පළ විය. කොරියානු ජාත්‍යන්තර නියෝජිතායතනය (KOICA) හරහා ඒ සදහා අවශ්‍ය පුහුණුව මෙරට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඇතුළු රාජ්‍ය සේවයට ලබා දීම සදහා ඉදිරියේදී කටයුතු සම්පාදනය කිරීමට මේ අනුව තීරණය විය.

මෙරට කොරියානු ආයෝජන අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු විය. ආයෝජන සදහා වඩාත් හිතකර පරිසරයක් තවදුරටත් ඇති කිරීමේ අවශ්‍යතාව පෙන්වාදුන් කොරියානු කථානායකවරයා පැවසුවේ මෙරට කොරියානු ආයෝජන අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන බවයි.

තවද සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා මෙරටට පැමිණෙන රටවල් කිහිපයක සංචාරකයන්ට නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීමේ වැඩසටහනට කොරියාව ද ඇතුළත් කිරී‍ම සම්බන්ධයෙන්ද ඉදිරියේදී සළකාබලන බව මෙරට කථානායකවරයා මෙහිදී පැවසීය.

කොරියානු ජාතික රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරු පිරිසක්ද මෙම අවස්ථාවට එක්විය. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු දයාසිරි ජයසේකර, ගරු නිමල් පියතිස්ස, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර, ශ්‍රී ලංකාවේ හිටපු කොරියානු තානාපති  සන්තුෂ් වුන්ජින් ජියෝන්  යන මහත්ම මහත්මීන්  ඇතුළු නිලධාරී පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

1 5

6 8

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි