ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තුව නොවැම්බර් 7 සිට 10 දක්වා රැස්වෙයි

දිනය : 2023-11-01

  • අයවැය විවාදය නොවැම්බර් 13 සිට දෙසැම්බර් 13 දක්වා
  • ජනාධිපතිවරයා විසින් අයවැය කතාව ඉදිරිපත් කිරීම නොවැම්බර් 13 වැනි සඳුදා ප.ව. 12.00 ට

 

පාර්ලිමේන්තුව ලබන නොවැම්බර් 7 වැනිදා සිට 10 වැනිදා දක්වා රැස්වීමට නියමිත ය.

මේ අතර 2024 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) මුදල් අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබන 13 වැනි සඳුදා ප.ව. 12.00  ට පමණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

2023 ඔක්තෝබර් මස 19 වැනි දින කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් එකඟත්වය පළ වී ඇත.

මේ අනුව 2023 නොවැම්බර් මස 07 වැනි අඟහරුවාදා පෙ.ව. 9.30 - පෙ.ව. 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත. පෙ.ව. 10.30 ට දස්සනා බෞද්ධ සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සදහා ඉදිරිපත් කිරීමට නියමිත අතර පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා ධීවර සහ ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) විවාදයට ගැනීමට නියමිතව තිබේ.

අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා (ප්‍රශ්න දෙකක්) කාලය වෙන් කර ඇත.
     
2023 නොවැම්බර් මස 08 වැනි බදාදා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න (ප්‍රශ්න 08යි) සදහා කාලය වෙන් කර ඇති අතර පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 දක්වා අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න සදහා කාලය වෙන් කර තිබේ.
ඉන්පසු පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා  අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) විවාදයට ගැනීමට නියමිතය.

අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවට අනුව විවාදය පැවැත්වේ.
 
2023 නොවැම්බර් මස 09 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න විමසීමෙන් අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00    දක්වා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියමය, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි, කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව තිබේ.    

අනතුරුව 2023 මුදල් වර්ෂය සදහා රු. බිලියන 231.5 කට අදාළව අනුමතිය ලබා ගැනීම සදහා අංක 01 දරන පරිපූරක ඇස්තමේන්තුව  ද ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (ප්‍රශ්න දෙකක්) සදහා කාලය වෙන් කර ඇත.
 
2023 නොවැම්බර් මස 10 වැනි සිකුරාදා පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලින් අනතුරුව පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත සලකා බැලීමට නියමිතය. අනතුරුව පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් වන  පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) සහ පළාත් සභා ඡන්ද විමසීම් (සංශෝධන) පනත් කෙටුම්පත් දෙවැනිවර කියවීමට නියමිතව ඇත.

අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා ගලහ භද්‍රවතී ජාතික භික්ෂු ගිලානෝපස්ථාන මධ්‍යස්ථාන භාරය පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට ද තීරණය වී ඇත.

විවාදයෙන් අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය විසින් ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.

 

අයවැය විවාදය

ඉන්පසු එළඹෙන නොවැම්බර් 13 වැනි සදුදා ප.ව. 12.00 ට ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024 වසර සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත්  ‘අයවැය කථාව’ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. අනතුරුව නොවැම්බර් 14 සිට 21 දක්වා, ඉරිදා දිනයන් හැර දින 7 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත ය. ‍එසේම අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි අඟහරුවාදා දා ප.ව. 6.00ට පැවැත්වීමට නියමිතව ඇත.

අනතුරුව කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 බදාදා සිට දෙසැම්බර් 13 බදාදා දක්වා ඉරිදා දිනයන් හැර   දින 19 ක් පැවැත්වීමට ද මෙහිදී තීරණය වී තිබේ. මේ අනුව 2024 මූල්‍ය වර්ෂය සඳහා වන අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනි බදාදා ප.ව. 6.00 ට පැවැත්වීමට නියමිතය.

අයවැය විවාද කාල සීමාව තුළ සෑම දිනකම පෙ.ව. 9.30 සිට ප.ව. 6.00 දක්වා විවාදය පැවැත්වීමට නියමිත අතර ඡන්ද විමසීම් පැවැත්වෙන දිනයන්හි හැර අ‍න්සෑම දිනකම ප.ව. 6.00 සිට ප.ව. 6.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වේ.

 

1 2

3 4

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි