ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම, ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට අතිශයින් අභියෝගාත්මකයි - කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා

දිනය : 2023-10-27

වත්මන් ගෝලීය සන්දර්භය තුළ, තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම, විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවලට අතිශයින් අභියෝගාත්මක වී ඇති බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. වත්මන් ලෝකය පෙර නොවූ විරූ ගෝලීය අභියෝගවලට මුහුණ දී සිටින අතරම, COVID-19 වසංගතය සහ එහි ප්‍රතිවිපාක, දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම් සහ නැගී එන ගැටුම් මානව ප්‍රජාවට සහ පෘථිවියට බහුවිධ බලපෑම් නිර්මාණය කර ඇති බවත්, එම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත් කථානායකවරයා තවදුරටත් පෙන්වා දුන්නේය. එකී අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාව නොපසුබස්නා උත්සහයෙන් ක්‍රියා කරන බව ද කථානායකවරයා සඳහන් කළේය. කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මේ අදහස් පළ කළේ ඇන්ගෝලාවේ ලුආන්ඩාහි පැවැත්වෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 147 වැනි සමුළුවට සහභාගී වෙමිනි.

පෙර නොවූ විරූ ගෝලීය අර්බුද මධ්‍යයේ මෑත කාලයේ ශ්‍රී ලංකාව සිය අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් පසුගිය වසරේදී අත්විඳින ලද බව සඳහන් කළ කථානායකවරයා පුළුල්ව පැතිරුනු සමාජ නොසන්සුන්තා සහ විරෝධතා හේතුවෙන් ඇති වූ අභියෝග ජයගැනීමේ ක්‍රියාවලියේදී, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ස්ථාවරව පවත්වා ගනිමින් රජය සහ ජනතාව සාමකාමී දේශපාලන පරිවර්තනයක් කරා ගමන් කරමින් සිටින බවද පැවසීය.

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ  147 වැනි සමුළුව ඔක්තොබර් 23 සිට 27 දක්වා ඇන්ගෝලාවේදී පැවැත්වේ. ඉදිරි වසර කිහිපය තුළ විශ්වයේ දිළිඳු බව තුරන් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 193 එක්ව 2015 වසරේදී ගොඩනගන ලද තිරසාර සංවර්ධන අරමුණු 17 අතර 16 වැන්න වන “සාමය, යුක්තිය සහ ශක්තිමත් ආයතන සඳහා පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග” අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මෙවර සමුළුවේ තේමාව වේ.

මෙම සමුළුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු නලීන් බන්ඩාර ජයමහ, ගරු මොහොමඩ් මුසාම්මිල්, ගරු චින්තක අමල් මායාදුන්න, ගරු රාජිකා වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර යන මහත්ම මහත්මිහු සහභාගී වී සිටිති.

 

spkr-angola

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි