ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සියවස් පූර්ණ සැමරුම

දිනය : 2023-10-16

  • වසර සියයක් සපිරෙන රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) වෙනුවෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදය හෙට

 

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) ස්ථාපිත කොට හෙට දිනට (17) වසර 100ක් සපිරේ. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදය හෙට (ඔක්. 17) පැවැත්වීමට කටයුතු යොදා ඇත .  

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙහි පැරණිතම මූල්‍ය අධීක්ෂණ කාරක සභාව ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සැළකේ. වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ආකෘතිය අනුගමනය කරමින් මෙම කාරක සභාව ස්ථාපිත කර ඇත.  ගරු ඊ.ආර්. තම්බිමුත්තු මැතිතුමා විසින් ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවට 1921 ඔක්තෝබර් 05 වැනි දින ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පිහිටුවන ලදී. 1923 සැප්තැම්බර් 5 වැනි දින කාරක සභාවක් පත්කර පළමු රැස්වීම   1923 ඔක්තෝබර් 17 වැනි දින පවත්වන ලදී. කෙසේ වෙතත්   පූර්ණ බලතල සහිත රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවක් පිහිටවුයේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 125 යටතේ   1948 වර්ෂයේදීය.  ආරම්භයේ සිට මේ දක්වා සභාපතිවරු 33 දෙනක් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මෙහෙයවා ඇති අතර වර්තමානයේ සභාපති ධුරය හොබවන්නේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතාය.  වර්තමානයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සාමාජික සංඛ්‍යාව 31 ක්.

රාජ්‍ය මුදල් සම්බන්ධ වගවීම සහතික කිරීමෙහිලා සහය වීමෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරයි. කාරක සභාවෙහි විමර්ශන කටයුතු සඳහා පදනම සපයන්නේ රාජ්‍ය ආයතන විගණනය කර විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන වාර්තාවන්ය.කෙසේ වෙතත්,  විගණකාධිපතිවරයාගේ වාර්තාවන් හි අඩංගු නොවන  නමුත් රාජ්‍ය මූල්‍ය හා සම්බන්ධ  කරුණු සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කාරක සභාවට කිසිදු බාධාවක් නොමැත.2023 අය වැය ඇස්තමේන්තු අනුව ආසන්න වශයෙන් රාජ්‍ය  ආයතන 835 ක් මෙම කාරක සභාවෙහි අධීක්ෂණය යටතේ පවතී.  

කෙසේ වෙතත් දැනට පවත්නා කාරක සභාවට කැඳවීමේ ක්‍රමවේදයට අමතරව ආයතන 835ක් පමණ වන සංඛ්‍යාවක් කාරක සභාව හමුවට කැඳවීම අපහසු කාර්යයක් බැවින්, මාර්ගගත ප්‍රශ්නාවලීන් උපයෝගී කර ගනිමින් ඇගයීම් ක්‍රමයක් ආරම්භ කොට තිබේ.

ඒ අනුව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ආරම්භයේ සිට මේ දක්වා සාක්ෂාත් කරගත් සියලු අරමුණුවල ප්‍රතිලාභ මෙරට පොදු මහජනතාවට ලැබී ඇත. වර්තමාන සභාපති, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ  වඩා ඵලදායීව ඉහළ කාර්ය සාධනයන් වාර්තා කළ ආයතන තෝරා ගනිමින් ඔවුන්ව තව තවත් දිරිගැන්වීම වෙනුවෙන්  සම්මාන හා සහතික පත්‍ර ප්‍රදානයන්ද  සිදුකෙරේ.

අට වැනි පාර්ලිමේන්තුවේදී, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපතිතුමා සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිතුමා විසින් පාර්ලිමේන්තුවේ ගරු කථානායකතුමා වෙත ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවකට අනුව කාරක සභා රැස්වීම් මාධ්‍ය වෙත විවෘත කිරීම සිදු විය. ඒ අනුව PEO TV 91 චැනලය ඔස්සේ කාරක සභා රැස්වීම් විකාශය කෙරේ.

 

පසුබිම් සටහන

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි