ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සාමාජිකයන් පත්කිරීම සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ වේ

දිනය : 2023-10-16

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ ව්‍යවස්ථාව සහ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතෙහි විධිවිධාන යටතේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සාමාජික ධුර ත්‍රිත්වය සඳහා පත්කිරීමට නිර්දේශ කිරීම සඳහා සලකා බැලීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සුදුසු තැනැත්තන්ගෙන් අයදුම්පත් කැඳවීම දැන් සිදු වේ.

මේ අනුව පහත සඳහන් ක්ෂේත්‍රයන්ගෙන් එකක් හෝ කිහිපයක් පිළිබඳ ප්‍රවීණ, විශිෂ්ටත්වයට පත් සහ අවම වශයෙන් වසර විස්සක (20) පළපුරුද්දක් සහිත තැනැත්තන්ට මේ සඳහා අයදුම් කළ හැකිය.

i.    නීතිය;
ii.    අපරාධ විමර්ශනය කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම;
iii.    වෝහාරික විගණනය;
iv.    වෝහාරික ගිණුම්කරණය;
v.    ඉංජිනේරු විද්‍යාව;
vi.    ජාත්‍යන්තර සම්බන්ධතා සහ රාජ්‍යතාන්ත්‍රික සේවා;
vii.    මහජන කටයුතු කළමනාකරණය; හෝ
viii.    රාජ්‍ය පරිපාලනය

 

එසේම සෑම අයදුම්කරුවකුම

i.    ශ්‍රී ලංකාවේ පුරවැසියකු විය යුතු ය;
ii.    කොමිෂන් සභාව පත් කරනු ලබන දිනය වන විට වයස අවුරුදු හැට දෙකකට (62) වඩා නොවැඩි විය යුතු ය;
iii.    ශාරීරික සහ මානසික යෝග්‍යතාවයෙන් යුක්ත විය යුතු ය;
iv.    දක්‍ෂ, අවංක, ඉහළ අධ්‍යාත්මික ගුණයක් සහ කීර්ති නාමයක් සහිත විය යුතු ය;
v.    කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත් කරනු ලැබීමට පෙර වෙනත් සියලු පාරිශ්‍රමික ලබන ධුරයන් අත්හරිනු ලැබ තිබිය යුතු ය:
කෙසේ වුවද, යම් පාරිශ්‍රමිකයක් ලබන ධුරයක් දරන තැනැත්තකු, කොමිෂන් සභාවේ සාමාජිකයකු වශයෙන් ධුරය භාරගැනීමට පෙරාතුව එකී තැනැත්තා විසින් පාරිශ්‍රමික ලබන සියලු ධුර අත්හරිනු ලබන්නේ නම්, එවැනි තැනැත්තකු කොමිෂන් සභාවේ සාමාජිකයකු වශයෙන් පත් කිරීම සඳහා සලකා බලනු ලැබිය හැකිය.
vi.    කොමිෂන් සභාවේ සාමාජිකයකුව සිටින අතරතුර දී යම් ව්‍යාපාර කටයුත්තක නිරත වීම හෝ යම් වෘත්තියක නියැලීම සිදු නොකළ යුතු ය;
vii.    එවැනි සාමාජිකයකු වශයෙන් ධුරය භාර ගැනීමට පෙරාතුව පවත්නා ලිඛිත නීතියට අනුව ස්වකීය වත්කම් හා බැරකම් ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරනු ලැබිය යුතු ය; සහ
viii.    කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස ධුරය භාරගැනීමට පෙරාතුව එකී පත්වීම් දිනය වන විට ස්වකීය සම්බන්ධතා පිළිබඳව පොදු හෙළිදරව් කිරීමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ඉදිරිපත් කළ යුතු ය.

 

තවද, එවැනි තැනැත්තකු

i.    දඩ මුදලකින් පමණක් දඬුවම් ලබන වරදකට හැර වෙනත් යම් අපරාධ වරදකට වරදකරු වී ඇත්නම්;
ii.    නිසි අධිකරණ බලය සහිත අධිකරණයක් විසින් බුන්වත් තැනැත්තකු බවට බවට තීන්දු කර ඇත්නම්;
iii.    මානසික වශයෙන් දුබල නම් හෝ එසේ මානසික වශයෙන් දුබල බවට පත් වේ නම් හෝ මේ පනත යටතේ වූ ස්වකීය කාර්ය ඉටු කිරීමට නොහැකිව සිටී නම්;
iv.    එකී තැනැත්තාගේ රාජකාරීන්ට අදාළව බරපතළ විෂමාචාරයකට වරදකරුවකුව ඇත්නම්;
v.    මේ පනතේ විධිවිධාන යටතේ ස්වකීය වගකීම්වලට අනුකූලව ක්‍රියාකිරීමට අසමත් වන්නේ නම්;
vi.    යම් දේශපාලන ධුරයක් දරන නියෝජිතයකු හෝ ඒ සඳහා තෝරාගත් නියෝජිතයකු වේ නම්; හෝ
vii.    අදාළ තත්කාලීන නීති යටතේ පවත්වනු ලබන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ මැතිවරණ, පාර්ලිමේන්තු මහමැතිවරණ, පළාත් සභා ඡන්ද විමසීම් හෝ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම්වල කාර්ය සඳහා පිළිගනු ලැබ ඇති යම් දේශපාලන පක්‍ෂයක යම් තනතුරක් හෝ සාමාජිකත්වයක් දරන හෝ දරනු ලැබ ඇත්නම්,

 

කොමිෂන් සභාවේ සාමාජිකයකු වශයෙන් පත් කිරීම සඳහා හෝ සාමාජිකයකු ලෙස අඛණ්ඩව ක්‍රියා කිරීම සඳහා නුසුදුසු වේ.

 අදාළ අයදුම්පත්‍ර, පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි පළකර ඇති ආකෘතිය අනුව පිළියෙල කළ යුතු අතර, නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍ර 2023 නොවැම්බර් මස 06 දින හෝ එදිනට පෙර,

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මහ ලේකම්
    ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව
    ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ.

යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ constitutionalcouncil@parliament.lk යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය.

 

ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ/ විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව - CIABOC පත්කිරීම්’ යනුවෙන් සඳහන් කළ යුතුය.

 


අයදුම් පත්‍රය  

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි