ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තුව ලබන 3 වැනිදා සිට 6 වැනිදා දක්වා රැස්වේ

දිනය : 2023-09-27

  • “ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයින් රට හැර යාමේ ප්‍රවණතාවය” පිළිබඳ කල් තැබීමේ විවාදය ලබන 6 වැනිදා

 

පාර්ලිමේන්තුව ලබන ඔක්තෝබර් 3 වැනිදා සිට 6 වැනිදා දක්වා රැස්වීමට නියමිත ය. පසුගිය සැප්තැම්බර් 22 වැනිදා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබේ.

මේ අනුව පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව. 9.30 - පෙ.ව. 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

 

2023 ඔක්තෝබර් මස 03 වැනි අඟහරුවාදා පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), සමථ මණ්ඩල (විශේෂ වර්ගවල ආරවුල්) පනත යටතේ නියෝග සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියමය විවාදයට ගැනීමට නියමිතය.

අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවට අනුව විවාදය පැවැත්වේ.

 

2023 ඔක්තෝබර් මස 04 වැනි බදාදා පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 රේගු ආඥා පනත යටතේ යෝජනා සම්මතයන් තුනක් (අංක 2336/72, 2338/54 සහ 2341/64 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කර ඇති), විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් (අංක 2332/14, 2332/53, 2337/16 සහ 2340/45 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කළ) නියමයන් සහ ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකු භාර පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) විවාදය පැවැත්වේ.

ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කර ඇත.

 

2023 ඔක්තෝබර් මස 05 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 10.30 සිට ප.ව. 5.00    ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), සිවිල් ගුවන් සේවා (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග සහ නැව් නියෝජිතයන්ට, නැව් බඩු ගෙන යන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු ප්‍රවාහකයන්ට සහ කන්ටේනර් මෙහෙයුම්කරුවන්ට බලපත්‍ර ලබාදීමේ පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව තිබේ.

අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවට අනුව විවාදය පැවැත්වේ.

 

2023 ඔක්තෝබර් මස 06 වැනි සිකුරාදා පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය ගෙනෙන යෝජනාවට අනුව “ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයින් රට හැර යාමේ ප්‍රවණතාවය” පිළිබඳ කල් තැබීමේ විවාදය පැවැත්වීමට නියමිත ය.

 

1 2

3 4

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි