ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

කථානායකතුමාගේ නිවේදන - 2023.09.19

දිනය : 2023-09-19

වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති පැයක කාලය නිශ්චිතයි

වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් ඉදිරිපත් කරන ලද ප්‍රශ්න සඳහා ස්ථාවර නියෝගවල විධිවිධාන අනුව වෙන්කර ඇති පැයක කාලසීමාව ඉක්මවා සෑම දිනකම දිගින් දිගටම කාලය ගතවීම හේතුවෙන් ප්‍රධාන වැඩකටයුතුවලට සිදුවන බාධා සහ එමඟින් විවාද කාල සීමාව අඩුවීම සම්බන්ධව 2023.09.01 සහ 2023.09.08 දිනවලදී පවත්වනු ලැබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම්වලදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබූ බව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා අද (19) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ අනුව, මින් ඉදිරියට වාචික පිළිතුරු අපේක්‍ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති පැයක කාලසීමාව නිශ්චිතව පූර්ව භාග 10.30ට අවසන් කිරීමටත්, ඒ වන විට ඇසීමට අවස්ථාව නොලද ප්‍රශ්න ඉතිරි වුවහොත්, ඒවා ඊළඟට ලැයිස්තුගත කළ හැකි ආසන්නතම දිනයේදී ඇසීමට හැකිවන ලෙස නැවත න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමටත් තීරණය කරනු ලැබූ බවද කථානායකවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.

තවද, ප්‍රශ්න සඳහා වෙන්කර ඇති කලසීමාව තුළදී වෙනත් විශේෂිත කරුණක් මතු කිරීමට යම් මන්ත්‍රීවරයෙකු අදහස් කරන්නේ නම්, ස්ථාවර නියෝග අනුව කටයුතු කරන ලෙසත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පරිදි තම පූර්ව අවසරය ලබාගන්නා ලෙසත් කථානායකතුමා තවදුරටත් දැනුම් දුන්නේය.

 

“එකතු කල අගය මත බදු (සංශෝධන)” පනත් කෙටුම්පත සම්බන්ධ පෙත්සමක්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව,  “එකතු කල අගය මත බදු (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් තමා වෙත ලැබී ඇති බවද කථානායකවරයා  පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

 

ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කළ අතිරේක සාමාජිකයන්

“සමාධි ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත සලකා බැලීම

“සමාධි ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා 113(2) ස්ථාවර නියෝගය යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට පහත සඳහන් මන්ත්‍රීවරයන් අතිරේක සාමාජිකයන් වශයෙන් තමා විසින් නම් කරන ලද බව කථානායකවරයා නිවේදනය කළේය.

ඒ අනුව ගරු රෝහණ දිසානායක, ගරු අ. අරවින්ද් කුමාර්, ගරු අශෝක් අබේසිංහ, ගරු කිංස් නෙල්සන්, ගරු රෝහණ බංඩාර , ගරු නිපුණ රණවක, ගරු රාජිකා වික්‍රමසිංහ, ගරු ලලිත් වර්ණ කුමාර යන මන්ත්‍රීවරයන් උක්ත කාරක සභාවට පත්කොට තිබේ.

 

“ශ්‍රී බාලාභිවෘධි වර්ධන සමිතිය (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත සලකා බැලීම

“ශ්‍රී බාලාභිවෘධි වර්ධන සමිතිය (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා 113(2) ස්ථාවර නියෝගය යටතේ ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට පහත මන්ත්‍රීවරයන් අතිරේක සාමාජිකයන් වශයෙන් කථානායකවරයා විසින් නම් කොට තිබේ.  

ඒ අනුව, ගරු. විදුර වික්‍රමනායක, ගරු. විජිත බේරුගොඩ, ගරු. ගීතා සමන්මලී කුමාරසිංහ, ගරු. අශෝක් අබේසිංහ, ගරු. කිංස් නෙල්සන්, ගරු. රෝහණ බංඩාර,     ගරු. උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ , ගරු. මංජුලා දිසානායක යන මන්ත්‍රීවරයන් උක්ත කාරක සභාවට නම් කොට තිබේ.

 

“පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාර” සම්බන්ධව ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදු කරන ලද විමර්ශන කටයුතු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුම්වත් කිරීමේ වැඩසටහන

“පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාර” සම්බන්ධව ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදු කරන ලද විමර්ශන කටයුතු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක්, මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් 2023 සැප්තැම්බර් 19 අඟහරුවාදා අ.භා. 2.30 ට පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 01 හිදී පැවැත්වීමට නියමිත බව සභාවට දැනුම්දුන් කථානායකවරයා එම වැඩසටහන සඳහා සහභාගි වන ලෙස සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියේය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි