දේශීය ආදායම් (සංශෝධන) සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වය හෙට (6) සහ අනිද්දා (7) පස්වරුවේ විවාදයට ගැනීමට අද (5) කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය විය.
ඒ අනුව හෙට (6) ප.ව. 4.30 සිට ප.ව. 7.30 දක්වාත් අනිද්දා (7) ප.ව. 4.30 සිට ප.ව. 7.00 දක්වාත් මෙම පනත් කෙටුම්පත් ද්විත්වයට අදාළ දෙවනවර කියවීමේ විවාදය පැවැත්වෙනු ඇත. තවද එම පනත් කෙටුම්පත් ද්විත්වය දෙවනවර කියවීමේ ජන්ද විමසීම 7 වැනි බ්‍රහස්පතින්දා ප.ව. 7.00ට පැවැත්වීමටත් මෙහිදී එකඟත්වය පළ වී ඇත. අනතුරුව පනත් කෙටුම්පත් ද්විත්වයේ කාරක සභා අවස්ථාව සහ තුන්වනවර කියවීම ප.ව. 7.30 දක්වා පැවැත්වීමට නියමිතය.
එසේම මෙම දෙදින වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වෙනත් දිනකට යොමුකිරීමට තීරණය වී ඇති අතර ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවට අදාළ විවාදය එම දෙදින පෙ.ව. 9.30 සිට ප.ව. 4 .30 දක්වා පැවැත්වීමට තීරණය වී තිබේ. තවද පෙර තීරණය කළ පරිදිම 8 වැනි සිකුරාදා විශ්වාස භංග යෝජනාවට අදාළ විවාදය පැවැත්වෙන අතර ප.ව. 5.30ට ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.