කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා සහ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ (Marc-André Franche) මහතා අතර හමුවක්

දිනය : 2023-09-04

Print

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා සහ අභිනවයෙන් පත්වූ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ (Marc-André Franche) මහතා අතර හමුවක් පසුගිය දා (සැප්. 01) පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි. මෙම හමුවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියාය.

ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී පනත සම්මත කරගැනීම සහ පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පිහිටුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක් අන්ඩ්‍රේ ෆ්‍රැන්චෙ මහතා සුබපැතුම් පිරිනැමුවේය.

තවද ඉදිරි වසර 5 සඳහා වන නව සහයෝගීතා වැඩසටහන හරහා ඩොලර් මිලියන 300ක් මෙරටට ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානම් බවද ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංවර්ධන හවුල්කරුවෙකු ලෙස නිරතුරුව ලබාදෙන සහයෝගය පිළිබදව කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා සිය කෘතඥතාව පළ කළේය.

තවද, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, මැතිවරණ ක්‍රමය, සාමය ගොඩනැගීමේ කටයුතු සහ දේශපාලනයේ කාන්තා නියෝජනය යන කරුණු පිළිබඳව ද අදහස් හුවමාරු කරන ලදී.

දේශපාලනය තුළ කාන්තා නියෝජනය තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ගෙන යන වැඩපිළිවෙළ සහ ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා තරුණ නියෝජිතයන් ඇතුළත් කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මෙහිදී කරුණු පැහැදිලි කළාය.

 

1 2

3 4