පාර්ලිමේන්තුව ලබන 5 සිට 8 වැනිදා දක්වා රැස්වේ

දිනය : 2023-09-01

Print
  • සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව පිළිබද විවාදය සදහා ලබන 6,7 සහ 8 තෙදින වෙන් කෙරේ - ඡන්ද විමසීම 8 වැනිදා ප.ව.  5.30 ට

 

සෞඛ්‍ය අමාත්‍ය ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව ලබන 6,7 සහ 8 තෙදින විවාදයට ගැනීමට අද (සැප්. 01) පෙරවරුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති  පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය විය.

පාර්ලිමේන්තුව එළඹෙන සතියේ 5 වැනි අගහරුවාදා සිට 8 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත අතර එම සෑම දිනකම පෙ.ව. 9.30 - පෙ.ව. 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

සැප්තැම්බර් 5 වැනි අඟහරුවාදා පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ. අනතුරුව පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් වන ශ්‍රී බාලාභිවෘධි වර්ධන සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත, සමාධි ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සිදුවේ. ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා රජය විසින් ගෙනෙන  සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබද විවාදය පැවැත්වීමට නියමිතය.

සැප්තැම්බර් 6 වැනි බදාදා පෙ.ව. 10.30 ට විදේශ විනිමය පනත යටතේ අංක  2338/40 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයේ පළ කළ නියමය සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2341/38 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයේ පළ කළ රෙගුලාසි විවාදයකින් තොරව අනුමත කර ගැනීමට මෙහිදී එකඟත්වය පළවී ඇත.

අනතුරුව ප.ව. 5.30 දක්වා  සෞඛ්‍ය අමාත්‍ය ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.


සැප්තැම්බර් 7 බ්‍රහස්පතින්දා  සහ 8 සිකුරාදා  පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 දක්වා මෙම විවාදය දෙවැනි සහ තෙවැනි දිනටත් පැවැත්වීමට මෙහිදී තීරණය විය. එසේම 8 වැනිදා ප.ව. 5.30 පමණ යෝජනාවට අදාළ ඡන්ද විමසීම පැවත්වීමට ද නියමිතව ඇත.

 

1 4

7