පාර්ලිමේන්තුව ලබන අගෝස්තු 22 සිට 25 දක්වා රැස්වේ

දිනය : 2023-08-18

Print
  • ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ලබන 24 වැනිදා

 

පාර්ලිමේන්තුව ලබන 22 සිට 25 දක්වා රැස්වීමට නියමිත බවත් ඊට අදාළ පාර්ලිමේන්තු කටයුතු පසුගිය 11 වැනිදා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බවත් පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.

මේ අනුව ලබන 25 වැනි සිකුරාදා හැර අනෙකුත් දිනයන්හි පෙ.ව. 9.30 - පෙ.ව. 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

අගෝස්තු 22 වැනි අගහරුවාදා ‍පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා පුරාවස්තු ආඥා පනත යටතේ නියෝග, සංචාරක කටයුතු පනත යටතේ අංක 2324/14 දරන ගැසට් පත්‍රයේ පළ කොට ඇති නියමය විවාද කොට අනුමතිය ලබා ගැනීමට නියමිතය.  

අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව අනුව විවාදය පැවැත්වේ.

අගෝස්තු 23 වැනි බදාදා පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ අංක 2336/45 දරන ගැසට් පත්‍රයේ පළකොට ඇති රෙගුලාසි, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ  අංක 2336/71 දරන ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග, වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක 2343/60 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝග සහ ක්‍රමෝපාය සංවර්ධන පනත යටතේ 2339/08 දරන ගැසට් පත්‍රයේ පළ කළ නියෝග විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය වී තිබේ.

ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කර තිබේ.

අගෝස්තු 24 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 10.30 ට පමණ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් අංක 2341/03 දරන ගැසට් පත්‍රයේ පළකළ නියමය සදහා අනුමතිය ලබා ගැනීමට නියමිතව ඇත.

අනතුරුව ප.ව. 5.30 දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් විරුද්ධ පාර්ශ්වය ගෙනෙන සභාව කල්තැබීමේ යෝජනාවට අනුව විවාදය පැවැත්වේ.

අගෝස්තු 25 වැනි සිකුරාදා සම්පූර්ණ දිනය වෙන් කර ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීමටය. ඒ අනුව අපවත්වී වදාළ හිටපු මන්ත්‍රී ගරු පූජ්‍ය උඩවත්තේ නන්ද හිමි, අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන් වන ගරු එස්.ඒ.ආර් මද්දුමබණ්ඩාර සහ ගරු සිරිසේන කුරේ යන මහත්වරුන් සදහා ශෝක යෝජනා පළ කිරීමට පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා කාලය වෙන් කර ඇත.

 

4 9

7 13