ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

රටේ අනාගතය වෙනුවෙන්, පොදු එකඟතාවයෙන් යුතුව 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙන යමු - ජනපති පාර්ලිමේන්තුවේ දී කියයි

දිනය : 2023-08-09

  • පාර්ලිමේන්තුව එකඟ වන්නේ නම් පළාත් සභා ඡන්ද විමසීමේ පනත සංශෝධනයටත් සූදානම්
  • පළාත් සභා ක්‍රියාත්මක වන තෙක් පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබාදීමට උපදේශක සභාවක්
  • සාර්ථක පළාත් සභා පද්ධතියක් තුළ ප්‍රබල ක්‍රම වෙනසකට අවස්ථාව සැලසෙනවා
  • අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ කටයුතු ක්‍රියාත්මකයි

 

පළාත් සභා සම්බන්ධ නීති සංශෝධනය හා නව නීති සම්මත කර ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුව එකඟවන්නේ නම් පළාත් සභා ඡන්ද විමසීමේ පනත සංශෝධනයට සූදානම් බවත්, දිස්ත්‍රික් සමානුපාතික ක්‍රමය යටතේ ඡන්දය පැවැත්වීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් සභා සඳහා තරග කිරීමේ අයිතිය ලබාදීම, කාන්තා නියෝජනය 25%ක් හෝ එයට වැඩි ප්‍රමාණයක් දක්වා ඉහළ නැංවීම යන යෝජිත කරුණු පිළිබඳ සාකච්ඡා කර එකඟතාවක් ලබාගෙන පළාත් සභා ඡන්දය පැවැත්වීමට පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය සහ බලය බෙදීම පිළිබඳ සිය යෝජනා සහ ඉදිරි ක්‍රියාමාර්ග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අද (අගෝ. 09) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මධ්‍යම ආණ්ඩුවේ බලතල ලැයිස්තුව, පළාත් සභා බලතල ලැයිස්තුව සහ සමගාමී ලැයිස්තුව යළි අධ්‍යයනය කොට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා බවත්, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල සහාය ඊට ලබා ගන්නා බවත් ජනාධිපතිවරයා පැවසීය.

එසේම පළාත් සභා ක්‍රියාත්මක වන තෙක් පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබාදීමට උපදේශක සභාවක් පත් කිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

පළාත් සභාව මෙරට ආණ්ඩු ක්‍රමයෙන් හෝ දේශපාලනයෙන් ඉවත් කළ නොහැකි ස්ථාවර සාධකයක් බවට පත්ව ඇති බව මෙහිදි පෙන්වා දුන් ජනාධිපතිවරයා මහජනතාවට විශ්වාසය තැබිය හැකි, මහජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදෙන කාර්යක්ෂම, නාස්තියෙන් සහ දූෂණයෙන් තොර පළාත් සභා පද්ධතියක් ගොඩනැඟීම තුළ ප්‍රබල ක්‍රම වෙනසක් ඇති කිරීමට අවස්ථාව සැලෙසන බව ද පැවසීය.

13 වන සංශෝධය යටතේ පළාත් සභා වෙත බලය පැවරීමේ දී  පොලිස් බලතල වැනි සංවේදී විෂයයන් සඳහා ප්‍රමුඛතාව ලබාදීමෙන්  සිදු වන්නේ ඇතැම් විට කිසිඳු එකගතාවකට එළැඹීමට අපහසුවීම බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළමුව අනෙකුත් බලතල පිළිබඳ එකඟතාවන්ට පැමිණෙමින් රටේ අනාගතය වෙනුවෙන් 13 වන ව්‍යවස්ථා සංශෝධනය පියවරින් පියවර ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සියලුදෙනා එක් විය යුතු බව ද අවධාරණය කළේය.

එසේම අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) අතුරුදන් වූවන් සොයා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවත්, මාස තුනක් ඇතුළත එම කටයුතු නිම කිරීමේ අරමුණින් දත්ත ඇතුළත් කිරීම කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අතුරුදන් වූවන් වෙනුවෙන් සහතිකයක් (COA) නිකුත් කිරීම ද වේගවත් කිරීමට කටයුතු කරන බව ද පැවසීය.

 

සම්පුර්ණ ප්‍රකාශය

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි