රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ගෙන යන වැඩපිළිවෙළ ජනපතිගේ ඇගයීමට |
දිනය : | 2023-07-18 |
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ගෙන යන වැඩපිළිවෙළ මෙරට රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හේතු වී ඇති බවත් ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරන එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඇතුළු සියලුදෙනාට තම කෘතඥතාව පිරිනමන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ගරු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ වාර්තාවලට අනුව 2019 සහ 2020 වර්ෂවල ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකරගත් ආයතන 65ක් සඳහා රන් සහ රිදී සම්මාන පිරිනැමීමේ උත්සවයට සහභාගී වෙමිනි.
ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මහතාගේ හා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සභභාගිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම උත්සවය අද (ජූලි 18) සිදු විය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ හරිත ආර්ථිකයක්, ඩිජිටල්කරණය සහ නව්‍යකරණය සමඟ ආර්ථිකය ඉදිරියට ගෙන යාම පැරණි ක්‍රමවේද අනුව සිදු කළ නොහැකි බවයි. එහිදී සියලු රාජ්‍ය ආයතන එක අරමුණක් සහ එක් සැලැස්මක් ඔස්සේ එකම ඒකකයක් ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාවයද එතුමා අවධාරණය කළේය.
එසේම රාජ්‍ය වියදම් පාලනය, සෑම රුපියලකටම උපරිම වටිනාකමක් ලබාගැනීම, ආදායම් ඉහළ නංවා ගැනීම සහ රටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කර ගැනීම යන මූල්‍ය වැඩපිළිවෙළ ඔස්සේ රට ඉදිරියට ගෙන යා යුතු බවත්, ඒ සඳහා ශක්තිමත් පරිපාලන යාන්ත්‍රණයක් රටට අවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.
තවද ශක්තිමත් ආර්ථිකයක් ඇති කර ගැනීම වෙනුවෙන් කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරීත්වයට (RCEP) ඇතුළත්වීම මෙන්ම ඉන්දියාව සමග පවතින සබඳතා පුළුල් කර ගැනීමේ වැදගත්කමද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
එසේම මෙහිදී අදහස් දැක්වූ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා ජයග්‍රහණ ලබාගත් සියලුම රාජ්‍ය ආයතනවලට සුබපැතුම් එක් කළ අතර 2015 වසරට වඩා අද වන විට රාජ්‍ය ආයතනවල සියයට 98කට වැඩි ප්‍රමාණයක විශාල ප්‍රගතියක් දක්නට ලැබෙන බවද පැවසීය.
මෙහිදී රාජ්‍ය, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල පොදු ගිණුම් තැබීමේ ක්‍රම, මූල්‍ය පාලනය සහ කාර්ය සාධනය පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් සකස්කර, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරනු ලබන පරිගණක ජාලගත ක්‍රමය මගින් වාර්ෂිකව ඇගයෙන අතර, ඒ අනුව විගණකාධිපතිවරයා විසින් විශ්ලේෂණය හා විමර්ශනය කොට, සිදු කළ ඇගයීම් අනුව ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන මෙලෙස සම්මානයට පාත්‍ර විය.
ඒ අනුව, රාජ්‍ය ආයතන 833 ක් ඇගයීමට ලක් වූ අතර, 2019 වර්ෂයේදී ඉන් තෝරාගත් ආයතන 15 ක් වෙත රන් සම්මාන සහ ආයතන 30ක් වෙත රිදී සම්මාන ද, 2020 වර්ෂයේදී තෝරාගත් ආයතන 15 ක් වෙත රන් සම්මාන සහ ආයතන 30ක් වෙත රිදී සම්මාන බැගින් සමස්ත සම්මාන 90 ක් පිරිනැමීම ගරු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
රජයේ අමාත්‍යාංශ, රජයේ දෙපාර්තමේන්තු, රජයේ විශේෂිත වියදම් ඒකක, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පළාත් සභා අරමුදල්, පළාත් අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු/විශේෂිත වියදම් ඒකක, පළාත් සභා ව්‍යවස්ථාපිත ආයතන, මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යන අංශ යටතේ මෙම සම්මාන පිරිනැමුණි.
අටවැනි පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සංකල්පයකට අනුව රජයේ ආයතනවල මූල්‍ය හා කාර්ය සාධනය ක්‍රමවත් කිරීමේ අරමුණින් රාජ්‍ය, පළාත් සභා සහ පළාත් පාලන ආයතන ඇගයීමේ පරිගණක ජාලගත වැඩසටහන 2015 මුදල් වර්ෂය පදනම් කරගෙන 2016 වර්ෂයේදී ආරම්භ කළේය.
මෙම සම්මාන ප්‍රදානෝත්සවය සඳහා Zoom තාක්ෂණය ඔස්සේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා යටතේ පවතින ආයතන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන 1000 කට අධික ප්‍රමාණයක් සම්බන්ධ වීම සිදු විය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිර්වර්ධන, විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් එක්ව සිටියහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම





සම්මානලාභීන්






