ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තුව විදිහට පසුගිය කාල සීමාවේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවී සංවේදීතාව ආරක්ෂා කරගන්න ක්‍රියාමාර්ග රැසක් දියත් කළා - පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර

දිනය : 2023-07-01

ස්ත්‍රී පුරුෂ සමාජභාවී සංවේදීතාව ආරක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තුව විසින් පසුගිය කාල සීමාව තුළ
ක්‍රියාමාර්ග රැසක් ආරම්භ කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

ඒ අතරින් 2018 වසරේ දී පළ කළ සංශෝධිත ස්ථාවර නියෝගවල ඉතාම මධ්‍යස්ථ ඇඟවුම් කාරක සහිත වචන ස්ත්‍රී පුරුෂ සමාජභාවය නිරූපණය කිරීමට භාවිතා කිරීම සුවිශේෂී ක්‍රියාමාර්ගයක් බව ඇය තවදුරටත් පෙන්වා දුන්නාය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදය මගින් ද කාන්තාවන්ට මුහුණපෑමට සිදුවන අසාධාරණකම් පිළිබඳ නිතර හඬ නගන බවත් ඒ පිළිබඳව සාධනීය මැදිහත්වීම් ඔවුන් විසින් සිදු කරන බවත් මහ ලේකම්වරිය සඳහන් කළාය.  

ඒ මහත්මිය මේ බව සඳහන් කළේ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සහ සමාජ අන්තර්කරණය පිළිබඳ සංවේදී සහ මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ වැඩමුළුවකට පසුගියදා (ජුනි 27) සහභාගී වෙමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මහලේකම්තුමිය, “මේ සියලු දේ කරන්නේ අපි මිනිස්සු විදිහට වඩා පොහොසත් මනුෂ්‍ය සම්බන්ධතා සහිත සමාජයක් නිර්මාණය කරන්න. විවිධත්වය කියන්නේ හරි ලස්සන දෙයක්. මානව ලෝකයේ හමුවන මුල්ම වෙනස ස්ත්‍රිය හා පුරුෂයා අතර තිබෙන වෙනස යි. හැබැයි මේ වෙනස සමාජ සංස්කෘතික දේශපාලන වශයෙන් අර්ථකථනය වෙනකොට, යම් යම් ව්‍යුහයන් තුළ මතු වෙද්දී පුරුෂ කේන්ද්‍රීය බවක්, ආන්තිකකරණය වීමක් දැකගන්න පුළුවන්. ඒ වගේ පසුබිමක් තුළ පොදු මනුෂ්‍යත්වය වෙනුවට අනෙකෙකු එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් (the other) කියලා කියනවා - එහෙම අනෙකකු බවට පත්වෙන ප්‍රවණතාවක් දැකගන්න පුළුවන්. අපි මේ සියලු උත්සාහයන් දරන්නේ ඒ අනෙකා වෙනුවට ආත්මීයව වටහාගන්න පුළුවන් පොදු මනුෂ්‍යත්වයක් නිර්මාණය කරන්න.” වශයෙන් සඳහන් කළාය.

ප්‍රජාතන්ත්‍රවාදී රටක ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සහ සමාජ අන්තර්කරණය පිළිබඳ  සංවේදී මාධ්‍ය වාර්තාකරණයේ අත්‍යවශ්‍යතාව පිළිබඳ දැනුවත් කිරීම, පාර්ලිමේන්තු වාර්තාකරුවන්ට සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට මහජන නියෝජිතයින් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ මෙම කාලීන මාතෘකාව පිළිබඳ සාකච්ඡා කිරීමට අවකාශයක් නිර්මාණය කිරීම මෙම වැඩමුළුව සංවිධානය කිරීමේ අරමුණයි.

මෙහිදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදීතාව සහ මාධ්‍ය වාර්තාකරණයේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදීතාවේ වැදගත්කම පිළිබඳ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ උපදේශක ඉන්දික දයාරත්න මහතා විසින් ප්‍රධාන දේශනය ඉදිරිපත් කරන ලදී.

කාන්තාවන්ට එරෙහි හිංසනයන් වාර්තා කිරීමේ දී පැවතිය යුතු ආචාර ධර්ම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් අදහස් දැක්වූ අතර, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී මාධ්‍ය  වාර්තාකරණයෙහි මාධ්‍යවේදී අත්දැකීම් ‘සිලෝන් ටුඩේ’ ප්‍රවෘත්ති කර්තෘ මෙත්මලී දිසානායක මහත්මිය විසින් ඉදිරිපත් කරන ලදී.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී භාෂා භාවිතය පිළිබඳ මොරටුව මහ නගර සභා හිටපු මන්ත්‍රීනි නීතිඥ ලිහිණි ප්‍රනාන්දු මහත්මිය සිය අදහස් පළ කළාය. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ස්ත්‍රී පුරුෂ සමාජභාවී කථාංග, මාතෘකා සහ අන්තර්ගත හඳුනාගැනීම පිළිබඳ සිය අදහස් දැක්වූ අතර වැඩමුළුවේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නාරද බක්මීවැව මහතා විසින් මෙහෙයවනු ලැබීය.

මෙම වැඩමුළුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හා ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය විසින් සංවිධානය කරනු ලැබීය.

 

1 2

3 4

5 6

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි