රුමේනියානු රාජ්‍ය ලේකම්වරයා කථානායකවරයා හමුවෙයි |
දිනය : | 2023-06-27 |
නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින රුමේනියාවේ රාජ්‍ය ලේකම් සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ට්‍රෙයන් හිරිස්ටියා (Traian Hristea) මහතා ඇතුළු දූත පිරිස ඊයේ (ජුනි 26) පාර්ලිමේන්තුවේදී කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය.
මෙම දූත පිරිසට රුමේනියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ඩයනා ටේස්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කවුන්සිලර් බෝග්ඩන් අල්ටියා සහ ශ්‍රී ලංකාවේ රුමේනියානු තානාපති ආචාර්ය වික්ටර් චියුජ්ඩියා යන මහත්ම මහත්මීහු ද සහභාගි වූහ.
රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව රාජ්‍ය ලේකම් ට්‍රේයන් හ්‍රිස්ටියා සිය ප්‍රසාදය පළ කළ අතර දෙරට අතර ශක්තිමත් සබඳතාවක් ඇති කිරීමට මෙය ඉතා වැදගත් බවද සඳහන් කළේය. තවද මෙමඟින් කම්කරු අංශය, අධ්‍යාපන, වෙළෙඳ, ආයෝජන, සයිබර් ආරක්‍ෂාව, තොරතුරු තාක්‍ෂණය සහ සංචාරක යනාදී බොහෝ ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගිතාව සඳහා මඟ සැලසෙනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය.
ශ්‍රී ලාංකිකයින්ට රුමේනියාවේ සේවය කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳව කෘතවේදීත්වය පළ කළ කතානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, ශ්‍රී ලංකා - රුමේනියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ආරම්භ කර ඇති බවත් ඒ හරහා ඉදිරියේදී තවදුරටත් සබදතා තර කර ගැනීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය. එසේම, රුමේනියානු පාර්ලිමේන්තුවේ කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසකට ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන ලෙස ද කථානායකවරයා ආරාධනා කළේය.
මීට අමතරව, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා, විශ්වවිද්‍යාල අතර අවබෝධය, රැකියා සඳහා යන අයගේ වීසා ක‍්‍රියාවලියේදී මතුවන ගැටලු ඇතුළු කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
මෙම හමුවට ශ්‍රී ලංකා - රුමේනියානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයින් වන රාජ්‍ය අමාත්‍ය ගරු (ආචාර්ය) සුරේන් රාඝවන් සහ ගරු අශෝක ප්‍රියන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු යදාමිනි ගුණවර්ධන, ගරු මධුර විතානගේ, ගරු වේලු කුමාර්, ගරු ෂානක්කියන් රාසමාණික්කම් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම










