ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක මහතාගේ සේවය පාර්ලිමේන්තුවේදී ඇගයීමට ලක් වෙයි

දිනය : 2023-05-25

  • කථානායකවරුන් හත් දෙනෙකු යටතේ මෙන්ම  ආණ්ඩු ගණනාවක් තුළ පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය සහ ගෞරවය ආරක්ෂා කිරීමට හිටපු මහලේකම්වරයාට හැකියාව ලැබුණා - අග්‍රාමාත්‍ය ගරු දිනේශ් ගුණවර්ධන මහතා
  • පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම ඇතුළු සිය සේවා කාලය තුළ මුහුණදීමට සිදුවූ ඉතාම අභියෝගාත්මක අවස්ථා නිවැරදිව කළමනාකරණය කළා - නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ
  • පුරා වසර 29ක් මුළුල්ලේ ඉටුකළ අගනා සේවය, පාර්ලිමේන්තු‍වේ කාර්ය පටිපාටි සහ පිළිවෙත් පිළිබදව එතුමා සතුවූ පුළුල් දැනුම ඉතා ඉහළින් අගය කරනවා -  සේවය ඇගයීමේ යෝජනාව ඉදිරිපත් කරමින් සභානායකවරයා පවසයි

 

පසුගිය 23 වැනිදා සිට සේවයෙන් විශ්‍රාම ගනු ලැබූ පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක මහතාගේ සේවය අගයමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් අද (මැයි 25) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළහ.

සම්ප්‍රදානුකූලව පාර්ලිමේන්තුවේ මහලේකම්වරයෙකු විශ්‍රාම ගත්විට සේවය ඇගයීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීම සදහා කාලය වෙන් කිරීම සිදුවේ. මේ අනුව අද පාර්ලිමේන්තුවේ පෙ.ව. 9.30 - ප.ව. 12.30 කාලය හිටපු මහලේකම් ධම්මික දසනායක මහතාගේ සේවය ඇගැයීමේ යෝජනාව සදහා වෙන් කර තිබිණි.  මෙහිදී සභාවේ අවසරය මත කථානායක අසුනට පහලින් පිහිටි  ලේකම් මඩුල්ලේ ආසනයකට හිටපු මහලේකම්වරයාට කථානායකවරයා විසින් ආරාධනා කිරීම සිදුවිය.  

අනතුරුව පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් හිටපු මහලේකම් ධම්මික දසනායක මහතාගේ සේවය ඇගැයීමේ යෝජනාව ඉදිරිපත් කරන ලදී. 

ධම්මික දසනායක මහතා පුරා වසර 29ක් මුළුල්ලේ ඉටුකළ අගනා සේවය, පාර්ලිමේන්තු‍වේ කාර්ය පටිපාටි සහ පිළිවෙත් පිළිබදව එතුමා සතුවූ පුළුල් දැනුම මෙම පාර්ලිමේන්තුව ඉතා ඉහළින් අගය කරන බව එම යෝජනාව ඉදිරිපත් කරමින් සභානායකවරයා පැවසීය. එසේම රාජකාරී ඉටුකිරීමේදී එතුමා සතුවූ දැඩි කැපවීම ද පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ආසියානු කලාපීය ලේකම් ලෙස කටයුතු කිරීමෙන්  පොදු රාජ්‍ය මණ්ඩලය තුළත් ඉන් පිටතදීත් විවිධ පාර්ලිමේන්තු මන්ත්‍රී සංගම්වලදීත්  එතුමාගෙන් ලැබුණු විශිෂ්ට දායකත්වය කෘතගුණපූර්වකව සලකන බවත් සේවය ඇගයීමේ යෝජනාව ඉදිරිපත් කරමින් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ගරු දිනේශ් ගුණවර්ධන මහතා ප්‍රකාශ සිටියේ පාර්ලිමේන්තුව තුළ විවිධ අභියෝගාත්මක අවස්ථාවලදී ස්වාධීනව සහ ශක්තිමත්ම මුහුණ දීමට හිටපු මහලේකම්වරයාට හැකියාව හිමිවූ බවයි. කථානායකවරුන් හත් දෙනෙකු යටතේ මෙන්ම  ආණ්ඩු ගණනාවක් තුළ පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය සහ ගෞරවය ආරක්ෂා කිරීමට එතුමා සමත්වූ බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එසේම පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම ඇතුළු එතුමාගේ සේවා කාලය තුළ මුහුණදීමට සිදුවූ ඉතාම අභියෝගාත්මක අවස්ථා නිවැරදිව කළමනාකරණය කිරීමේ හැකියාව හිටපු මහලේකම්වරයාට ලැබුණු බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා ස්ථාපිත කිරීම ඇතුළු වඩාත් ප්‍රජාතාන්ත්‍රික සාධනීය පියවරයන් සදහා හිටපු මහලේකම්වරයා විශිෂ්ට කාර්ය භාරයක් ඉටු කළ බවයි. සිය අත්දැකීම් ඇසුරෙන් මතු පරපුරට ප්‍රයෝජනවත් වන ග්‍රන්ථයක් පළ කරන ලෙස විපක්ෂ නායකවරයා හිටපු මහලේකම්වරයාගෙන් ඉල්ලීමක් ද කළේය. එසේම ව්‍යවස්ථාදායක සභාවේ ලේකම්වරයා ලෙස ඉදිරියේදී මෙහෙවරක් සිදුකිරීමට සුබ පතන බව ඒ මහතා පැවසීය.

එසේම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද සුභාශිංශන එක් කරමින් පවසා සිටියේ ධම්මික දසනායක මහතාගේ විශිෂ්ට සේවය ප්‍රශංසනීය බවයි.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චමල් රාජපක්ෂ මහතා මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ හිටපු මහලේකම්වරයාට පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සම්මේලනය ඇතුළු ජාත්‍යන්තර සම්මේලන සහ කටයුතුවලදී ඉහළ ගෞරවයක් සහ පිළිගැනීමක් හිමිවූ බවයි. එසේම පාර්ලිමේන්තුවට ගංවතුර පැමිණි අවස්ථාවකදී ඉටිපන්දම් එළියෙන් පාර්ලිමේන්තු කටයුතු සිදු කළ බවත් ඒ සෑම අභියෝගාත්මක අවස්ථාවකදීම එතුමා විශාල ශක්තියක් වූ බව හිටපු කථානායකවරයා සිහිපත් කළේය.

අනතුරුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරයන් රැසක් හිටපු මහලේකම්වරයාගේ සේවය අගය කරමින් සුබපැතුම් එක් කළහ. වෙසෙසින් පාර්ලිමේන්තුව තුළ පක්ෂ විපක්ෂ සෑම පාර්ශවයකින්ම ඇතැම් අවස්ථාවලදී එල්ලවන පීඩනය මනා ලෙස කලමනාකරණය කරගනිමින් අපක්ෂපාතීව ඍජුව කටයුතු කිරීමට එතුමාට හැකිවූ බවත් ඒ අනුව එතුමාගේ විශිෂ්ට සේවය ප්‍රශංසනීය බවත් බොහෝ මන්ත්‍රීවරයන් පෙන්වා දුන්හ.

හිටපු මහලේකම්වරයාගේ බිරිඳ වන නීතීඥ සලිනි නිල්මල්ගොඩ මහත්මිය, දරුවන් ඇතුළු ඥාතීන් පිරිසක් ද විශේෂ අමුත්තන්ගේ ගැලරියේ සිට මෙම අවස්ථාව නැරඹීමට එක්ව සිටියහ.

 

හිටපු මහලේකම් ධම්මික දසනායක මහතා පිළිබඳ කෙටි හැදින්වීමක්

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයෙන් සහ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇති ධම්මික දසනායක මහතා සිය එල්.එල්.බී (නීතිඥ) සහ එල්.එල්.එම් (නීතිපති) උපාධි සම්පූර්ණ කළේ කොළඹ විශ්වවිද්‍යාලයෙනි. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයෙක් වශයෙන් දිවුරුම් දීමෙන් අනතුරුව 1988 දී එතුමා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති උපදේශක (පර්යේෂණ) ලෙස පත්විය.

ධම්මික දසනායක මහතා රජයේ අධිනීතිඥයෙක් ලෙස 1989 වසරේ දී නීතිපති දෙපාර්තමේන්තුවේ සේවයට එක් වී ගාල්ල, කොළඹ, ගම්පහ, රත්නපුර, හලාවත, පානදුර, මීගමුව සහ අවිස්සාවේල්ල ඇතුළු මහාධිකරණ රැසකම රජය වෙනුවෙන් නඩු කටයුතු මෙහෙයවා තිබේ. තව ද, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවරන ලද මූලික අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ නඩු කටයුතු මෙන්ම ඇපැල් අධිකරණය ඉදිරියේ පවරන ලද අපරාධ නඩු අභියාචනා රැසක්ම සඳහා එතුමා රජය වෙනුවෙන් පෙනී සිට ඇත.

1994 දී, පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම්වරයා ලෙස සිය පාර්ලිමේන්තු වෘත්තීය දිවිය ආරම්භ කළ ධම්මික දසනායක මහතා, 2003 දී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ධූරයට පත් වූ අතර 2012 වසරේදී පාර්ලිමේන්තුවේ මහලේකම් ධූරයට උසස් විය.

දසනායක මහතා සිය දීර්ඝකාලීන පාර්ලිමේන්තු වෘත්තීය දිවිය තුළදී දේශීය සහ අන්තර්ජාතික ඇගයුමට ලක් වූ රාජ්‍යතාන්ත්‍රික කටයුතු රැසකට දායක වී ඇති අතර එතුමා අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU), පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ (CPA) සහ සාර්ක් පාර්ලිමේන්තු සංගමයේ සමුළු බොහෝ ගණනක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කොට තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ පාර්ලිමේන්තු මහ ලේකම්වරයන්ගේ සංසදයේ දකුණු ආසියානු කලාපය නියෝජනය කරමින් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකත්වය ද, 2010 - 2012 කාලවකවානුවේ දී දකුණු ආසියානු කලාපීය මහලේකම්වරයන්ගේ සංසදයේ ලේකම් ධුරයද, සාර්ක් කථානායකවරයන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදයේ ලේකම්වරයා වශයෙන් ද කටයුතු කර ඇත. එසේම, පොදුරාජ්‍ය මණ්ඩල පදනම විසින් 2000 වර්ෂයේ දී පාර්ලිමේන්තු පරිපාලන කටයුතු සඳහා වූ අධිශිෂ්‍යත්වයක් ද දසනායක මහතා වෙත පිරිනමා ඇත.

ධම්මික දසනායක මහතා වසර 29ක පාර්ලිමේන්තු සේවා කාලයක් සපුරමින් 2023.05.22 දින විශ්‍රාම දිවියට එළඹෙන්නේ ශ්‍රී ලංකා ප්‍රජතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ 06 වැනි මහ ලේකම්වරයා ලෙසයි.

 

6 1

7 10

4

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි