ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ කොළඹ විශ්වවිද්‍යාලය එක්ව පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රියාපටිපාටි පිළිබඳ පාඨමාලාවක් අරඹයි

දිනය : 2022-09-26

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ කොළඹ විශ්වවිද්‍යාලය හා ඒකාබද්ධව ඉතිහාසයේ ප්‍රථම වරට පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රියාපටිපාටි පිළිබඳ කෙටි පාඨමාලාවක් ආරම්භ කොට තිබේ.

පසුගිය 16 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේදී පාඨමාලාවේ සමාරම්භක අවස්ථාව පැවති අතර එහිදී සමාරම්භක මුඛ්‍ය දේශනය පවත්වන ලද්දේ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා විසිනි.

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශයේ අවසන් වසර විද්‍යාර්ථීන්ගේ අධ්‍යයනය සඳහා ආරම්භ කරන ලද මෙම පාඨමාලාව සඳහා සම්පත් දායකත්වය සපයනු ලබන්නේ පාර්ලිමේන්තු මහලේකම්තුමා සහ පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසිනි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විශ්වවිද්‍යාලයක් හා එක්ව මෙවැනි ශාස්ත්‍රීය පාඨමාලාවක් ආරම්භ කරන ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙම පාඨමාලාව මඟින් ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තු ක්‍රමවේදය, පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය, පාර්ලිමේන්තු ක්‍රමයේ විකාශය, පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය, පාර්ලිමේන්තුව හා මහජනතාව, මන්ත්‍රිවරයන් සඳහා වන චර්යාධර්ම, ස්ථාවර නියෝග,  මහජන සේවා ක්‍රියාවලිය සඳහා සහසම්බන්ධ වීම, කාන්තා නියෝජනය, වැනි විෂය ක්ෂේත්‍රයන් පිළිබඳව විද්‍යාර්ථින්ට අවබෝධය ලබා දීමට නියමිය. පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රියාපටිපාටි පිළිබඳ කෙටි පාඨමාලාව සඳහා දේශනමාලා හතරක් ද පාර්ලිමේන්තු අධ්‍යයන චාරිකාවක් ද ඇතුළත් වේ.

පාඨමාලාවෙහි සමාරම්භක අවස්ථාව සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න, කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලසන්ත මානවඩු, දේශපාලන සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශයේ අංශාධිපති, ආචාර්ය ප්‍රදීප් පීරිස්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක යන මහත්වරු සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර, සහකාර මහලේකම් ටිකිරි කේ. ජයතිලක සහ අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා සහ වැඩබලන අධ්‍යක්ෂ සන්නිවේදන එච්.ඊ. ජනකාන්ත සිල්වා යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

මෙම පාඨමාලාව සඳහා කොළඹ විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සම්බන්ධීකරණය කරනු ලබන්නේ පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසිනි.

 

12

34

5

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි