ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය ලබන සතියේ රැස්වෙයි

දිනය : 2022-09-16

ශ්‍රී ලංකාවේ දරුවන්ට යහපත් හෙට දවසක් උදාකර දීම සඳහා අදාළ අමාත්‍යාංශ හා වෙනත් ආයතන සම්බන්ධ කර ගනිමින් රටේ දරුවන් සම්බන්ධ ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා පිහිටුවා ඇති ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය ලබන 21 වැනිදා රැස්වීමට නියමිතව තිබේ.

දරුවන්ගේ යහපැවැත්ම උදෙසා ප්‍රතිපත්ති වෙනස් කිරීම් හෝ නව ප්‍රතිපත්ති හඳුන්වාදීම සහ සියලුම දරුවන්ගේ යහපැවැත්මට අදාළ ප්‍රතිපත්ති නිතිපතා සමාලෝචනය කිරීම සහ සංශෝධනය කිරීම, ළමුන් සඳහා වැඩ කරන විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ නියෝජිතායතන සමඟ සම්බන්ධීකරණය කිරීම මෙන්ම දරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව රාජ්‍ය ආයතනවල සහ මහජනතාවගේ වැඩි අවධානයක් යොමු කිරීමද මෙම සංසදයේ මූලික අරමුණු වේ.

එයට අමතරව ළමා අයිතිවාසිකම් හා සම්බන්ධ අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමට සහ නීතිය ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීමට ළමුන් සම්බන්ධයෙන් පවතින නීති සමාලෝචනය කිරීම සහ සංශෝධනය කිරීම, අවශ්‍ය අයවැය ප්‍රතිපාදන වැඩි කිරීම වෙනුවෙන් පෙනී සිටීම, දරුවන්ගේ අයිතීන් ක්‍රියාත්මක කිරීම සහ එමගින් ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම හා සම්බන්ධ අභියෝගවලට මුහුණ දීම සඳහා රජයේ, සිවිල් සමාජයේ සහ ව්‍යාපාරික ප්‍රජාවේ සම්පත් එක් කර ගැනීමටද සංසදය අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකාවේ සමස්ත ළමා ජනගහනයට ගුණාත්මක මුල් ළමාවිය, ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය, ප්‍රමාණවත් සෞඛ්‍ය රැකවරණයක් සහ ප්‍රචණ්ඩත්වය, අපයෝජනය, නොසලකා හැරීම් සහ සූරාකෑම් වලින් ආරක්ෂා වී මනා පෝෂණයක් ලබා ගැනීමට ඇති ප්‍රවේශය සහතික කිරීම සඳහා ඔවුන්ට බලපාන තීරණවලට සහභාගී වීමට අවස්ථාව තහවුරු කිරීම සහ භේදයකින් තොරව සහ සමානව සෑම දරුවෙකුගේම පූර්ණ හැකියාවන් වර්ධනය කිරීමට දායක වීමද සංසදයේ ප්‍රධාන කාර්යයන් අතර වේ.

ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය, පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සභාපතිත්වයෙන් හත්වන පාර්ලිමේන්තුවේදී පිහිටුවන ලද අතර, අටවැනි පාර්ලිමේන්තුව සඳහා 2015 දෙසැම්බර් 03 දින නැවත ස්ථාපිත කරන ලදී. ඉහත සංසදය නවවැනි පාර්ලිමේන්තුව සඳහා ආරම්භ කෙරෙනුයේ ප්‍රථම වතාවටයි.

 

parliamentary-caucus-for-children

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි