“ජාතික සභාව” පිළිබඳ යෝජනාව ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවේ අනුමතියට ඉදිරිපත් කෙරේ |
දිනය : | 2022-09-14 |
- “රජයේ ආදායම වැඩිකර ගැනීමේ අවශ්‍යතාව” පිළිබද සභාව කල් තැබීමේ විවාදය ලබන 21 වැනිදා…
- සැප්තැම්බර් 23 වැනි සිකුරාදා පෙ.ව. 9.30 සිට ප.ව. 12.30 දක්වා කාලය දෙවැනි එළිසෙබෙත් මහරැජිනගේ අභාවය වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට වෙන් කෙරේ...
- පාර්ලිමේන්තුව නැරඹීම සදහා පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමට ද එකඟත්වය හිමිවේ...
පාර්ලිමේන්තුවේ අභිනවයෙන් ස්ථාපිත කිරීමට යෝජිත “ජාතික සභාව” නමින් හඳුන්වනු ලබන පාර්ලිමේන්තු කාරක සභාව පිළිබඳ යෝජනාව ලබන 20 වැනිදා පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 දක්වා විවාදයට ගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමතිය ලබා ගැනීමට නියමිත ය.
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත. සැප්තැම්බර් 09 වැනි දින නිකුත් කරන ලද න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයට ද මේ වන විට “ජාතික සභාව” පිළිබඳ යෝජනාව ඇතුළත් කොට තිබේ.
ලබන 20 වැනිදා සිට 23 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, 23 වැනි සිකුරාදා හැර සෑම දිනකම පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.
ලබන 21 වැනිදා “රජයේ ආදායම වැඩිකර ගැනීමේ අවශ්‍යතාව” පිළිබඳ රජය විසින් ගෙනෙන සභාව කල් තැබීමේ යෝජනාවකට අනුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.30 දක්වා විවාදය පැවැත්වීමට ද මෙහිදී තීරණය විය.
සැප්තැම්බර් 22 වැනිදා පෙ.ව. 10.30 සිට ප.ව. 12.30 දක්වා ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවනවර කියවීම) සහ සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කර ගැනීමට නියමිතව ඇත. අනතුරුව ප.ව. 1.00 සිට ප.ව. 4.30 දක්වා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ විවාදයට ගැනීමට නියමිතව තිබේ.
ඉන්පසු ප.ව. 4.30 සිට ප.ව. 4.50 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා වෙන්කර ඇති අතර ප.ව. 4.50 සිට ප.ව. 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවට අනුව විවාදය පැවැත්වීමට ද තීරණය වී ඇත.
සැප්තැම්බර් 23 වැනි සිකුරාදා පෙ.ව. 9.30 සිට ප.ව. 12.30 දක්වා කාලය දෙවැනි එළිසබෙත් මහරැජිනගේ අභාවය වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීමටත්, ප.ව. 1.00 සිට ප.ව. 5.30 දක්වා කාලය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු අමරකීර්ති අතුකෝරල මහතාගේ අභාවය වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීමටත් මෙහිදී තීරණය වී තිබේ.
මේ අතර පැවති කොවිඩ් තත්ත්වය සහ ආරක්ෂක හේතු මත පාර්ලිමේන්තුව නැරඹීම සදහා පනවා තිබූ සීමාවන් ලිහිල් කිරීමේ අවශ්‍යතාව පිළිබදව ද වේත්‍රධාරීවරයා මෙහිදී කමිටුවේ අවධානයට යොමු කර ඇත. මේ අනුව එහි මූලික පියවරක් ලෙස පාර්ලිමේන්තු රැස්වීම් නොමැති දිනවලදී පාසැල් ශිෂ්‍යයන් ඇතුළු පාර්ලිමේන්තුව නැරඹීමට ඉල්ලීම් සිදුකරන පාර්ශවයන්ට ඒ සදහා අවසර ලබා දීමට ද මෙහිදී එකඟත්වය පළ විය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






